YouVersion Logo
Search Icon

ගණන් 13:1-24

ගණන් 13:1-24 SCV

ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ඉශ්‍රායෙල්වරුන්ට මා දෙන කානාන් දේශයේ ඔත්තු බලන පිණිස, මිනිසුන් යවන්න. හැම පිය ගෝත්‍රයකින් නායකයකු බැගින් යවන්නැ” යි පැවසූ සේක. මෙසේ ස්වාමින්වහන්සේගේ අණින්, මෝසෙස් පාරාන් කාන්තාරයේ සිට මිනිසුන් පිටත් කර යැවී ය. ඔවුන් සියල්ලෝ ඉශ්‍රායෙල්වරුන්ගේ නායකයෝ වූහ. ඔවුන්ගේ නාම මෙසේ ය: රූබෙන් ගෝත්‍රයෙන් සක්කූර්ගේ පුත් ෂම්මුවා. සිමියොන් ගෝත්‍රයෙන් හෝරීගේ පුත් ෂාෆාට්. යූදා ගෝත්‍රයෙන් යෙෆුන්නෙගේ පුත් කාලෙබ්. ඉස්සාකර් ගෝත්‍රයෙන් යෝසෙෆ්ගේ පුත් ඉගාල්. එප්‍රායිම් ගෝත්‍රයෙන් නූන්ගේ පුත් හෝෂෙයා. බෙන්යමින් ගෝත්‍රයෙන් රාෆුගේ පුත් පල්තී. සාබුලොන් ගෝත්‍රයෙන් සෝදිගේ පුත් ගද්දියෙල්. යෝසෙප්ගේ ගෝත්‍රයක් වූ මනස්සේ ගෝත්‍රයෙන් සූසිගේ පුත් ගද්දී. දාන් ගෝත්‍රයෙන් ගෙමල්ලීගේ පුත් අම්මියෙල්. ආෂෙර් ගෝත්‍රයෙන් මිකායෙල්ගේ පුත් සෙතූර්. නෆ්තලී ගෝත්‍රයෙන් වොෆ්සීගේ පුත් නාබි. ගාද් ගෝත්‍රයෙන් මාකිගේ පුත් ගෙවූයෙල්. දේශයෙහි ඔත්තු බලන පිණිස, මෝසෙස් යැවූ මිනිසුන්ගේ නාම ඒවා ය. නූන්ගේ පුත් හෝෂෙයාට මෝසෙස්, යෝෂුවා යන නම දුන්නේ ය. කානාන් දේශයේ ඔත්තු බැලීමට ඔවුන් පිටත් කර හරිමින්, ඔවුන් ඇමතූ මෝසෙස්, “නෙගෙබ් පෙදෙස මැදින් ගොස්, කඳුරටට ඇතුළු වන්න. ඒ රට මොන වගේ ද, එහි වෙසෙන ජනයා බලවත් ද, දුර්වල ද, සිටින්නේ ටික දෙනෙක් ද, බොහෝ දෙනෙක් ද, ඔවුන් ජීවත් වන්නේ කවර විදියේ රටක ද, එය හොඳ ද, නරක ද, ඔවුන් වෙසෙන්නේ කවර අන්දමේ නගරවල ද, ඒවා ප්‍රාකාර රහිත ද, ප්‍රාකාර සහිත ද, එහි පස කෙසේ ද, සාරවත් ද, නිසරු ද, එහි ගස් වැවී තිබේද-නැද්ද, යන වග සොයා බලන්න. දේශයේ පලවලින් යමක් ගෙන ඒමට උපරිම උත්සාහ දරන්නැ” යි පැවසී ය. එය ප්‍රථම මිදි නෙළන වාරය විණි. මෙසේ පිටත් ව ගිය ඔවුහු සීන් කාන්තාරයේ පටන් ලෙබෝ-හමාත් දෙසට රෙහොබ් දක්වාත් දේශය පිරික්සූහ. නෙගෙබ් පෙදෙස මැදින් ගිය ඔවුහු, අනාක්ගෙන් පැවතෙන්නන් වූ අහීමන්, ෂේෂයි හා තල්මයි විසූ හෙබ්‍රොන් වෙත පැමිණියහ. (හෙබ්‍රොන් පුරවරය, ඊජිප්තුවේ සොවන් පුරවරයටත් වඩා හත් වසරකට කලින් ගොඩ නගන ලද්දකි.) එෂ්කොල් මිටියාවතට ළඟා වූ ඔවුහු, තනි මිදි පොකුරක් සහිත අත්තක් කපා ගත්හ. එය රැගෙන එන ලද්දේ ලීයක බැඳ මිනිසුන් දෙදෙනකු විසින් කර තබාගෙන ය. දෙළුම් හා අත්තික්කා ද ඔවුහු ගෙන ආහ. එම ස්ථානය එෂ්කොල් මිටියාවත නමින් හඳුන්වන ලද්දේ, ඉශ්‍රායෙල්වරුන් එහිදී කපා ගත් මිදි පොකුර නිසා ය.

Video for ගණන් 13:1-24