YouVersion Logo
Search Icon

නෙහෙමි 12

12
පූජකවරු හා ලෙවීවරු
1ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල් හා යේෂුවා සමඟ ආපසු හැරී ආ පූජකවරු හා ලෙවීවරු මොවුහු ය:
සෙරායා, යෙරමියා, එස්රා,
2අමරියා, මල්ලූක්, හට්ටූෂ්,
3ෂෙකනියා, රෙහූම්, මෙරේමොත්,
4ඉද්දෝ, ගින්නෙතෝයි, අබියා,
5මියාමින්, මාදියා, බිල්ගා,
6ෂෙමායා හා යෝයාරීබ්, යෙදායා,
7සල්ලූ, ආමොක්, හිල්කීයා හා යෙදායා ය.
ඔවුහු යේෂුවාගේ දවස්වලදී පූජකයින්ගේත්, ඔවුන්ගේ සහෝදරයින්ගේත් නායකයින් ව සිටියහ.
8ලෙවීවරුන් වූ යේෂුවා, බින්නූයි, කද්මීයෙල්, ෂේරෙබියා, යූදා හා මත්තනියා. ඔහු තම සහෝදරයින් සමඟ ස්තුති දීමේ ගී බාර ව සිටියේ ය. 9ඔවුන්ගේ සහෝදරයින් වූ බක්බුකියා හා උන්නී මෙහෙයයන්වලදී ඔවුන් ඉදිරිපිට සිටගත්හ.
10යේෂුවා, යෝයාකීම්ගේ පියා ය.
යෝයාකීම්, එලියාෂීබ්ගේ පියා ය.
එලියාෂීබ්, යෝයාදාගේ පියා ය.
11යෝයාදා, යොනාතාන්ගේ පියා ය.
යොනාතාන්, යද්දූවාගේ පියා ය.
12යෝයාකීම්ගේ දවස්වලදී පූජක පියවංශවල ප්‍රධානීහු මොවුහු ය:
සෙරායාගේ පියවංශයෙන් මෙරායා.
යෙරමියාගේ පියවංශයෙන් හනනියා;
13එස්රාගේ පියවංශයෙන් මෙෂුල්ලාම්;
අමරියාගේ පියවංශයෙන් යෙහෝහානාන්;
14මල්ලූක්ගේ#12:14 මල්ලූක්ගේ හෙබ්‍රෙව් මෙලීකූ පියවංශයෙන් යොනාතාන්;
ෂෙකනියාගේ#12:14 ෂෙකනියාගේ හෙබ්‍රෙව් ෂෙබනියා පියවංශයෙන් යෝසෙප්;
15හාරිම්ගේ පියවංශයෙන් අද්නා;
මෙරායොත්ගේ පියවංශයෙන් හෙල්කායි.
16ඉද්දෝගේ පියවංශයෙන් සෙකරියා;
ගින්නෙතොන්ගේ පියවංශයෙන් මෙෂුල්ලාම්;
17අබියාගේ පියවංශයෙන් සික්රී;
මිනියාමින්ගේ පියවංශයෙන් හා මෝවදියාගෙන් පිල්ටායි ය;
18බිල්ගාගේ පියවංශයෙන් ෂම්මුවා;
ෂෙමායාගේ පියවංශයෙන් යෙහෝනාතාන්;
19යෝයාරීබ්ගේ පියවංශයෙන් මත්තෙනයි;
යෙදායාගේ පියවංශයෙන් උස්සී;
20සල්ලයිගේ පියවංශයෙන් කල්ලායි;
ආමොක්ගේ පියවංශයෙන් ඒබෙර්;
21හිල්කීයාගේ පියවංශයෙන් හෂබියා;
යෙදායාගේ පියවංශයෙන් නෙතනේල්.
22එලියාෂීබ්, යෝයාදා, යෝහානාන් හා යද්දූවා යන අයගේ දවස්වල ලෙවීවරුන්ගේ ද පූජකයින්ගේ ද පියවංශ ප්‍රධානීන් පර්සියානු දාරෙයාවෙෂ්ගේ#12:22 දාරෙයාවෙෂ්ගේ ග්‍රීක් දාරියුස් පාලන සමයේ ලියැවුණහ. 23ලෙවීගෙන් පැවත එන්නන් අතර වූ පියවංශ ප්‍රධානීහු එලියාෂීබ්ගේ පුත් යෝහානාන්ගේ කාලය දක්වා ඉතිහාස පොතේ ලියැවුණහ. 24ලෙවී නායකයින් වූ හෂබියා, ෂේරෙබියා, කද්මීයෙල්ගේ පුත් යේෂුවා හා ඔවුන්ගේ සහෝදරයෝ ප්‍රශංසාවත්, ස්තූතියත් දෙන පිණිස ඔවුන් ඉදිරිපිට සිටගෙන සිටියහ. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වූ දාවිත් ආඥා කර තිබූ පරිදි එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායම සමඟ මාරුවෙන් මාරුවට එසේ කළහ.
25මත්තනියා, බක්බුකියා, ඔබදියා, මෙෂුල්ලාම්, ටල්මොන් හා අක්කූබ් ගබඩා කාමර දොරටු මුර කළ දොරටුපාලයෝ වූහ. 26ඔවුන් මෙහෙ කළේ යෝසාදාක්ගේ පුත්‍ර, යේෂුවාගේ පුත්‍ර යෝයාකීම්ගේ දවස් හා ආණ්ඩුකාර නෙහෙමියාගේ හා පූජකයා හා ධර්මාචාර්ය වූ එස්රාගේ දවස්වලදී ය.
යෙරුසලම් පවුර කැප කිරීම
27යෙරුසලම් පවුර කැප කිරීමේදී ස්තුති ගීතිකා ද අත්තාලම්, මහ වීණා හා වීණා වාදන හා ප්‍රීති ප්‍රමෝදයෙන් යුතු ව පවුර කැප කිරීම සැමරීම සඳහා ලෙවීවරුන් විසූ හැම තැන්වලින් ම ඔවුන් සොයා ගනු ලදුව, යෙරුසලම වෙත ගෙනෙන ලදහ. 28ගායනා කරන්නන් යෙරුසලම අවට පළාතෙන් ද නෙටොෆාතිවරුන්ගේ ගම්මානවලින් ද 29බෙත්-ගිල්ගාල් වෙතින් ද ගෙබා හා අස්මාවෙත් පෙදෙසින් ද ගෙනෙන ලදී. මන්ද ගායනා කරන්නෝ තමන් සඳහා යෙරුසලම අවටින් ගම්මාන ඉදිකර ගෙන සිටියහ. 30පූජකයෝ හා ලෙවීවරු තමන් ම පවිත්‍ර වී, පසුව ජනතාවත්, දොරටුත්, පවුරත් පවිත්‍ර කළහ.
31ඉන්පසු මම යූදා නායකයින් පවුර උඩට ගෙන ගියෙමි. ස්තුති දෙන පිණිස විශාල සංගීත කණ්ඩායම් දෙකක් මම පත් කළෙමි. එකක් පවුර උඩ දකුණු දෙසට, කසළ දොරටුව දෙසට ගියේ ය. 32හෝෂායා හා යූදා නායකයින් අඩක් ඔවුන් පසු පස ගියහ. 33ඔවුන් සමඟ අසරියා, එස්රා, මෙෂුල්ලාම්, 34යූදා, බෙන්යමින්, ෂෙමායා, යෙරමියා, 35එසේ ම හොරණෑ ගත් පූජකයෝ කීප දෙනෙක්, ආසාෆ්ගේ පුත්‍ර සක්කූර්ගේ පුත්‍ර මීකායාගේ පුත්‍ර මත්තනියාගේ පුත්‍ර ෂෙමායාගේ පුත්‍ර යොනාතාන්ගේ පුත්‍ර සෙකරියා හා 36දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වූ දාවිත් විසින් නියම කළ තූර්ය භාණ්ඩ සමඟ ඔහුගේ සහායකයින් වූ ෂෙමායා, අසරේල්, මිලලයි, ගිලලයි, මාඅයි, නෙතනේල්, යූදා හා හනානී සිටියහ. ධර්මාචාර්ය එස්රා එම කණ්ඩායමට පෙරටුව ගමන් ගත්තේ ය. 37ඔවුහු උල්පත් දොරටුව ළඟින් තමන් ඉදිරියෙන් වූ දාවිත්ගේ ගෘහයට ඉහළින් පවුරට නැගුමෙහි දාවිත්ගේ නගරයේ පඩිවලින් නැගී, නැගෙනහිරට තිබෙන වතුර දොරටුව ළඟට ගියෝ ය.
38ස්තුති දෙන දෙවන ගීතිකා කණ්ඩායම ඊට විරුද්ධ දිශාවට ගමන් ගත්තේ ය. මම ජනයාගෙන් අඩක් කැටුව පවුර උඩ ඔවුන් අනුව ගියෙමි. උදුන් කුලුන පසු කර පළල් පවුර දක්වාත්, 39එප්‍රායිම් දොරටුව, යෙෂානා දොරටුව#12:39 යෙෂානා දොරටුව හෙවත් පරණ දොරටුව, මත්ස්‍ය දොරටුව, හනනේල් කුලුන හා සියයේ කුලුන හා බැටළු දොරටුව දක්වා අවුත්, රැකවලුන්ගේ දොරටුව ළඟදී ඔවුහු නැවතුණහ.
40ස්තුති දෙන ගීතිකා කණ්ඩායම් දෙක දෙවියන්වහන්සේගේ ගෘහය තුළ ඔවුන්ගේ ස්ථානයේ ස්ථානගත ව සිටියහ. මා හා මා සමඟ වූ නිලධාරීන්ගෙන් අඩක් ද 41තමන්ගේ හොරණෑ අතැතිව සිටි පූජකයින් වූ එලියාකීම්, මාසේයා, මිනියාමින්, මීකායා, එල්යෝවේනයි, සෙකරියා හා හනනියා ද 42මාසේයා, ෂෙමායා, එලෙයාසර්, උස්සී, යෙහෝහානාන්, මල්කීයා, ඒලාම් හා ඒසෙර් ද එසේ සිටගෙන සිටියහ. ඉස්රහියාගේ නායකත්වයෙන් යුත් එම ගායකයෝ ගායනා කළහ. 43තවද එම දවසේ ඔවුහු ප්‍රීති ප්‍රමෝදයෙන් යුතු ව මහත් යාග පූජා ඔප්පු කළහ. මන්ද දෙවියන්වහන්සේ මහත් ප්‍රීතියක් ඔවුන්ට දී තිබිණි. කාන්තාවෝ ද දරුවෝ ද ප්‍රීති වූහ. යෙරුසලමෙහි වූ එම ප්‍රීති නාදය බොහෝ දුරට ඇසිය හැකි විණි.
44ඒ දවසේ සම්මාදම්, ප්‍රථම පල හා දසයෙන් කොටස් සඳහා වූ ගබඩා කාමර බාර ව සිටින පිණිස මිනිසුන් පත් කෙරිණ. එසේ ඔවුන් පත් කරනු ලද්දේ පූජකයින් හා ලෙවීවරුන් සඳහා ව්‍යවස්ථාවෙන් නියමිත කොටස් නගර වටා වූ කෙත්වල සිට ගබඩා කාමර වෙත ගෙන යන පිණිස ය. මන්ද මෙහෙයයේ යෙදුණු පූජකයින් හා ලෙවීවරුන් ගැන යූදාවරුන් ප්‍රමෝද වූ බැවිනි. 45දාවිත්ගේ හා ඔහුගේ පුත්‍ර සාලමොන්ගේ ආඥාවලට අනුව, ගායකයින් හා දොරටුපාලයින් කළ පරිද්දෙන් ඔවුහු දෙවියන්වහන්සේගේ මෙහෙයයත්, පවිත්‍ර වීමේ මෙහෙයයත් ඉටු කළහ. 46පෙර කාලයේ දාවිත්ගේ හා ආසාෆ්ගේ කාලයේ ගායකයින් සඳහාත්, ප්‍රශංසා ගීත හා දෙවියන්වහන්සේට ස්තුති දීම සඳහාත් අධ්‍යක්ෂවරු සිටියහ. 47එබැවින් සෙරුබ්බාබෙල්ගේ හා නෙහෙමියාගේ දවස්වලදී සියලු ඉශ්‍රායෙල්වරු ගායකයින් හා දොරටුපාලයින් සඳහා දිනපතා කොටස් සම්මාදම් කළහ. ඔවුහු සෙසු ලෙවීවරුන් සඳහා ද කොටසක් වෙන් කළහ. එම ලෙවීවරු ආරොන්ගෙන් පැවත එන්නන් සඳහා ඉන් කොටසක් වෙන් කළහ.

Currently Selected:

නෙහෙමි 12: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in