YouVersion Logo
Search Icon

නෙහෙමි 10

10
1මුද්‍රාවේ සඳහන් නම් මෙසේ ය:
හකලියාගේ පුත් ආණ්ඩුකාර නෙහෙමියා.
සෙදෙකියා, 2සෙරායා, අසරියා, යෙරමියා, 3පෂ්හූර්, අමරියා, මල්කීයා, 4හට්ටූෂ්, ෂෙබනියා, මල්ලූක්, 5හාරිම්, මෙරේමොත්, ඔබදියා,
6දානියෙල්, ගින්නෙතොන්, බාරුක්, 7මෙෂුල්ලාම්, අබියා, මියාමින්, 8මාසියා, බිල්ගයි හා ෂෙමායා. මොවුහු පූජකයෝ ය.
9ලෙවීවරු නම්
අසනියාගේ පුත් යේෂුවා, හේනාදාද්ගේ පුතුන්ගෙන් බින්නූයි, කද්මීයෙල් 10හා ඔවුන්ගේ සහෝදරයින්:
ෂෙබනියා, හෝදීයා, කෙලීටා, පෙලායා, හානාන්, 11මීකා, රෙහොබ්, හෂබියා, 12සක්කූර්, ෂේරෙබියා, ෂෙබනියා, 13හෝදීයා, බානී හා බෙනීනූ.
14ජනයාගේ නායකයෝ නම්:
පරොෂ්, පාහත්-මෝවබ්, ඒලාම්, සත්තූ, බානී, 15බුන්නී, අස්ගාද්, බේබයි, 16අදොනීයා, බිග්වයි, ආදීන්, 17ආටේර්, හෙසකියා, අස්සුර්, 18හෝදීයා, හාෂුම්, බේසායි, 19හාරීෆ්, අනාතොත්, නේබායි, 20මග්පියාෂ්, මෙෂුල්ලාම්, හේසිර්, 21මෙෂේසබෙල්, සාදෝක්, යද්දුවා, 22පෙලටියා, හානාන්, අනායා, 23හොෂෙයා, හනනියා, හෂ්ෂූබ්, 24හල්ලොහේෂ්, පිල්හා, ෂෝබේක්, 25රෙහූම්, හෂබ්නා, මාසේයා, 26අහියා, හානාන්, ආනාන්, 27මල්ලූක්, හාරිම් හා බානා.
28“සෙසු ජනයා එනම් පූජකයින්, ලෙවීයයන්, දොරටුපාලයින්, ගායකයින් හා දේව මාලිග සේවකයින් ද දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථා නීතිය අනුව දේශවල ජනයින් වෙතින් වෙන් වූ සියල්ලන් හා ඔවුන්ගේ භාර්යාවන් ද දැනුමත්, වැටහීමත් ඇති ඔවුන්ගේ සියලු පුතුන් හා දූවරුන් ද 29දෙවියන්වහන්සේගේ සේවක මෝසෙස් මගින් දෙන ලද දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව අනුගමන කරන්නටත්, අපගේ ස්වාමින් වන ස්වාමින්වහන්සේගේ සියලු ආඥා ද උන්වහන්සේගේ නියමයන් ද උන්වහන්සේගේ නියෝග ද රක්ෂා කරන්නට හා පවත්වන්නටත් අධිපතීන් වූ ඔවුන්ගේ සහෝදරයින්ට එකතු වී, ශාපයකින් හා දිවුරුමකින් තමන් ම බැඳුණහ.
30“අපේ දූවරුන් දේශයේ ජනයින්ට අප විවාහ කර දෙන්නේ නැත; ඔවුන්ගේ දූවරුන් අපේ පුතුන්ට ගෙනෙන්නේ ද නැත.
31“දේශයේ විසූ ජනයා විකිණීම සඳහා වෙළඳ බඩු හා ධාන්‍ය සබත් දවසක ගෙනෙනා කල, සබතක හෝ වෙනත් ශුද්ධ දවසක අප ඔවුන්ගෙන් මිල දී ගන්නේ නැත. හත් වන හැම අවුරුද්දකදී, අපි දේශය වගා කිරීමෙන් විවේක ගෙන, සියලු ණය අවලංගු කරන්නෙමු.
32“අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේ මෙහෙය උදෙසා අවුරුදු පතා ෂෙකෙලයකින් තුනෙන් එකක්#10:32 ග්‍රෑම් 4ක් පමණ. දීමට ද අපි බැඳුණෙමු. 33ඒවා පිදුම් රොටි මේසය මත තැබීම, නිත්‍ය ධාන්‍ය පූජා හා නිත්‍ය දවන යාග පූජා, සබත, නව සඳ දවස්, නියමිත මංගල්‍ය, ශුද්ධ උපකරණ, ඉශ්‍රායෙල් උදෙසා පාප වන්දි නිවාරණය සඳහා පාප පූජා හා අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේ සියලු වැඩට ය.
34“ව්‍යවස්ථාවේ ලියා ඇති පරිදි අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ පූජාසනය පිට ගිනි අවුළුවනු පිණිස, අවුරුදු පතා නියමිත කාලයට අපේ හැම පියවංශයක් ම අපේ දෙවියන්වහන්සේගේ ගෘහයට දැව පිදුම් ගෙන ඒමට පූජකයින්, ලෙවීවරුන් හා ජනතාව වන අප අපි අතරේ පස ඇට දැමීමු.
35“අපගේ බිම්වල අස්වැන්නේ ප්‍රථම පල හා හැම පලතුරු ගසකින් ප්‍රථම පල අවුරුද්දෙන් අවුරුද්ද ස්වාමින්වහන්සේගේ ගෘහයට ගෙන ඒමට ද අපි බැඳුණෙමු.
36“තවද ව්‍යවස්ථාවේ ලියවී ඇති පරිදි අපේ පුතුන්ගේ හා අපේ සත්ව සම්පතෙහි කුලුඳුලන්, අපේ ගව රංචුවල හා අපේ එළු බැටළු රංචුවල කුලුඳුලන් අපේ දෙවියන්වහන්සේගේ ගෘහයට, අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේ මෙහෙයයේ නියැළෙන පූජකයින් වෙත ගෙනෙන්නට ද අපි බැඳුණෙමු;
37“තවද අපි අපගේ ඇනූ පිටිවලින් ද අපගේ සම්මාදමෙන් ද අපගේ හැම ගසක පලවලින්, අලුත් මිදි යුෂවලින් හා තෙල්වලින් ද පළමු කොටස අපි අපගේ දෙවියන්වහන්සේගේ ගෘහයේ ගබඩා කාමර වෙත, පූජකයින් වෙත ගෙනෙන්ට ද අපගේ බිමේ අස්වැන්නෙන් ද දසයෙන් කොටසක් ලෙවීවරුන් වෙත ගෙනෙන්නට ද බැඳුණෙමු. මන්ද අප වැඩ කළ සියලු නගරවලින් දසයෙන් කොටස් එකතු කළෝ ලෙවීවරු ය. 38ලෙවීවරුන් දසයෙන් කොටස් ලබාගන්නා විට ආරොන්ගෙන් පැවතෙන පූජකයා ඔවුන් සමඟ සිටිය යුතු විණ. ලෙවීවරුන් එම දසයෙන් කොටස්වලින් දසයෙන් කොටස, අපගේ දෙවියන්වහන්සේගේ ගෘහය වෙත, ගබඩා ගෙයි කුටිවලට ගෙන ආ යුතු ය. 39ලෙවීවරුන් ඇතුළු ඉශ්‍රායෙල් ජනතාව ඔවුන්ගේ සම්මාදම් වන ධාන්‍ය, අලුත් මිදි යුෂ හා තෙල් ගෙන ආ යුතු වන්නේ ශුද්ධස්ථානය සඳහා වූ භාණ්ඩ තබන හා මෙහෙයයේ නියැළෙන පූජකයින්, දොරටු-පාලකයින් හා ගායනා කරන්නන් නැවතී සිටින ස්ථානයේ ඇති ගබඩා කාමරවලට ය.
“අපගේ දෙවියන්වහන්සේගේ ගෘහය අප නො සලකා හරින්නේ නැත.”

Currently Selected:

නෙහෙමි 10: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in