මාර්ක් 6:33-56
මාර්ක් 6:33-56 SCV
එහෙත් ඔවුන් පිටත් ව යනු දුටු බොහෝ දෙනෙක් ඔවුන් හැඳින, සෑම නගරයක ම සිට දුව ගොස්, ඔවුන්ට කලින් එහි ළඟා වූහ. උන්වහන්සේ වෙරළට ගොඩ බැස්ස කල, ඒ විශාල ජනකාය දැක, ඔවුන්ට දයානුකම්පා කළ සේක; මන්ද ඔවුන් එඬේරකු නැති බැටළු රැළක් වැනි වූ බැවිනි. එබැවින් උන්වහන්සේ ඔවුන්ට බොහෝ දෑ උගන්වන්නට වන් සේක. දවස ගෙවී යමින් තිබියදී, උන්වහන්සේ වෙත පැමිණි ගෝලයෝ, “මේක පාළු පෙදෙසක්, දැනටත් හොඳට ම පමා වෙලා; එනිසා අවට පෙදෙස් හා ගම්වලට ගොස්, කෑමට යමක් මිල දී ගන්නට මේ ජනයා පිටත් කර හරින්නැ” යි කීවෝ ය. එහෙත් උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ ම ඔවුන්ට කෑමට යමක් සපයා දෙන්නැ” යි පැවසූ සේක. ඔවුහු පිළිතුරු දෙමින්, “එසේ නම් අප ගොස්, ඩිනාරි දෙසියයක රොටි මිලයට ගෙන, ඔවුන්ට කෑම සපයා දිය යුතු දැ?” යි ඇසූහ. එවිට උන්වහන්සේ ඔවුන් අමතමින්, “රොටි කීයක් ඔබ ළඟ තියෙනවා ද? ගොහින් බලන්නැ” යි පැවසූ සේක. ඔවුහු සොයා දැන, “රොටි පහක් හා මසුන් දෙදෙනෙකැ” යි කීහ. එවිට උන්වහන්සේ ඔවුන් සියල්ලන් කණ්ඩායම් වශයෙන් තණ නිල්ල මත හිඳගන්නට නියම කළ සේක. ඔවුහු පනහ හා සියය බැගින් කණ්ඩායම් වශයෙන් හිඳ ගත්හ. ඉන්පසු යේසුස්වහන්සේ රොටි පහ සහ මසුන් දෙදෙනා ද ගෙන, ස්වර්ගය දෙස ඉහළ බලා, ආශිර්වාදය පවසා, රොටි කඩා, රැස් ව සිටි අය ඉදිරියේ ඒවා තබන පිණිස, ගෝලයින්ට දුන් සේක. උන්වහන්සේ මසුන් දෙදෙනා ද ඔවුන් සැමට බෙදා දුන් සේක. සැවොම ඒවා කෑමෙන් තෘප්තියට පත් වූහ. ඉන්පසු රොටි හා මාළු කැබලිවලින් ඔවුහු කූඩ දොළහක් පිරවූහ. එහි කෑමට වාඩි වී සිටි පිරිමින් පමණක් පන්දහසක් වූහ. එකෙණෙහි ම, උන්වහන්සේ තම ගෝලයින් ඔරුවේ නංවා, තමාට පෙරටුව බෙත්සයිදා වෙත එගොඩ යන්නට සැලසූ සේක. ඒ අතර උන්වහන්සේ සමූහයා විසිරවූ සේක. ඔවුන් පිටත් ව ගිය පසු, උන්වහන්සේ යාච්ඤා කරන පිණිස, කන්දට නැගුණු සේක. අඳුර වැටුණු කල ඔරුව මුහුද මැද වූ අතර, උන්වහන්සේ තනි ව ගොඩ බිමේ වූ සේක. ගෝලයින් ඔරුව පැදීමට වෙහෙස දරන වග උන්වහන්සේ දුටු සේක; මන්ද සුළඟ හැමුවේ ඔවුන්ට එරෙහිව ය. රාත්රි හතර වන යාමයේ උන්වහන්සේ මුහුද මත ඇවිදගෙන, ඔවුන් වෙත ආ සේක. උන්වහන්සේ ඔවුන් පසු කර යන්නට වූ කල, උන්වහන්සේ මුහුද මත ඇවිදිනු දුටු ඔවුහු ඒ අවතාරයකැයි සිතා කෑ ගසන්නට වන්හ. මන්ද උන්වහන්සේ දුටු ඒ සැවොම ත්රස්ත ව සිටියහ. එකෙණෙහි ම ඔවුන්ට කතා කළ උන්වහන්සේ, “ධෛර්යවත් වන්න! මේ මමයි. බය වන්න එපා” යි කී සේක. උන්වහන්සේ ඔවුන් සමඟ ඔරුවට ගොඩ වූ කල සුළඟ නැවතිණි. ගෝලයෝ මහත් සේ විස්මිත වූහ. මන්ද රොටි සම්බන්ධ හාස්කම ඔවුන් වටහා ගෙන තිබුණේ නැත. ඔවුන්ගේ හදවත් දැඩි වී තිබිණි. මෙතෙර වූ ඔවුහු ගෙන්නසරෙත් පෙදෙසට පැමිණ ඔරුව වෙරළේ නැංගුරම් ලූහ. ඔවුන් ඔරුවෙන් ගොඩ බැස්ස කෙණෙහි ජනයා යේසුස්වහන්සේ හැඳින ගත්හ. ඔවුහු මුළු පෙදෙස පුරා දුව ඇවිද, උන්වහන්සේ යම් තැනකට ගියායැයි සැල වූ හැම තැනකට, රෝගීන් සිටි යහන් පිටින් ඔවුන් රැගෙන ගියහ. යේසුස්වහන්සේ ගිය යම් ගමක්, නගරයක් හෝ පෙදෙසක් වී ද, ජනයා රෝගීන් කඩ-මණ්ඩිවල තබා, උන්වහන්සේගේ සළුවේ වාටියට පමණක්වත් අත ගසන්නට ඔවුනට ඉඩ දෙන මෙන් අයැද සිටියහ. උන්වහන්සේට අත ගැසූ සැවොම සුවය ලදහ.





