YouVersion Logo
Search Icon

මාර්ක් 14:26-50

මාර්ක් 14:26-50 SCV

ගීතිකාවක් ගැයීමෙන් පසු, ඔවුහු ඔලීව කන්ද වෙත ගියහ. යේසුස්වහන්සේ කතා කරමින්, “ඔබ හැම අතහැර යනු ඇත. මන්ද: “ ‘මම එඬේරාට පහර දෙන්නෙමි. එවිට බැටළුවෝ විසුරුවනු ලබති’ යි ලියා තිබේ. එහෙත් යළි මා නැගිටුවනු ලැබූ පසු, ඔබට කලින් මම ගලීලයට යන්නෙමි” යි පැවසූ සේක. පේතෘස් කතා කරමින්, “හැම දෙනා ඔබ මග හැර ගියත්, මා යන්නේ නැතැ” යි කී ය. යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “සැබවින් ම මා ඔබට කියන්නම්, අද, මේ රැයේ කුකුළා දෙවරක් හඬලන්නට පෙර, මා නාඳුනන බව තුන් වතාවක් ම ඔබ කියන්නේ යැ” යි පැවසූ සේක. එහෙත්, “ඔබ සමඟ මට මියෙන්නට සිදු වෙතත්, කිසි කලෙක මා ඔබ ප්‍රතික්ෂේප කරන්නේ නැතැ” යි පේතෘස් තරයේ ම ප්‍රකාශ කළේ ය. සැවොම එසේ කීහ. ඔවුහු ගෙත්සෙමන නම් ස්ථානයට ගියහ. ගෝලයින් ඇමතූ උන්වහන්සේ, “මා යාච්ඤා කරන තුරු, මෙහි හිඳ සිටින්නැ” යි ඔවුනට කී සේක. පේතෘස්, යාකොබ් හා යොහන් තමන් සමඟ ගෙන ගිය උන්වහන්සේ, මහත් සේ ශෝක වන්නටත්, කැලඹීමටත් පත් වන්නට වී, ඔවුන් අමතමින්, “මැරෙන තරමට මගේ ජීවය ශෝකයෙන් මිරිකෙයි. මෙහි නැවතී අවදියෙන් ඉන්නැ” යි කී සේක. එයින් මදක් ඔබ්බට ගිය උන්වහන්සේ බිම වැටී, හැකි නම් ඒ පැය තමන් වෙතින් ඉවත් කරන මෙන් යාච්ඤා කරමින්, “අබ්බා පියාණෙනි, ඔබට හැම දෙයක් ම පුළුවන. මේ කුසලාන මගෙන් ඉවත් කළ මැනව; එහෙත්, මගේ කැමැත්ත නො ව, ඔබගේ කැමැත්ත වේවා” යි පැවසූ සේක. උන්වහන්සේ ආපසු ගෝලයින් වෙත පැමිණ, ඔවුන් නිදා සිටිනු දැක, පේතෘස් අමතමින්, “සීමොන් ඔබ නිදි ද? ඔබට එක පැයක් අවදියෙන් ඉන්න බැරි වුණා ද? පරීක්ෂාවට නො වැටෙන පිණිස අවදිව සිටිමින්, යාච්ඤා කරන්න. ආත්මය කැමතියි. එහෙත් මාංසය දුර්වල යැ” යි කී සේක. නැවතත් ඉවතට ගිය උන්වහන්සේ එම වචන ම කියමින් යාච්ඤා කළ සේක. උන්වහන්සේ ආපසු පැමිණි කල, ඔවුන් නැවතත් නිදා සිටිනු දුටු සේක. මන්ද ඔවුන්ගේ ඇස් නිදි බර ව තිබිණි. උන්වහන්සේට කුමක් කියන්නදැයි ඔවුහු නො දත්හ. උන්වහන්සේ තුන් වන වරටත් ඔවුන් වෙත පැමිණ, ඔවුන් අමතමින්, “ඔබ තවමත් නිදාගෙන විවේක ගන්නවා ද? දැන් ඇති; පැය පැමිණිලා; මනුෂ්‍ය පුත්‍රයාණන් පව්කරුවන්ගේ අත්වලට පාවා දෙනු ලබයි. නැගිටින්න; අපි යමු. මෙන්න මා පාවා දෙන්නා එන්නේ යැ!” යි පැවසූ සේක. එකෙණෙහි උන්වහන්සේ කතා කරද්දී ම, දොළොස් දෙනාගෙන් කෙනකු වූ යූදස් ආවේ ය; ඔහු සමඟ කඩු මුගුරු රැගත් පිරිසක් වූහ. ඔවුහු නායක පූජකයින්, දහම් පඬිවරුන් හා වැඩිහිටියන් විසින් එවනු ලැබූවෝ වූහ. “මම යමකු සිඹිම් ද තැනැත්තා ඔහුයි. ඔහු අල්ලා රැකවල් ලා, ගෙන යන්නැ” යි පාවා දෙන්නා ඔවුන්ට ලකුණක් දී තිබිණ. මෙසේ ඔහු පැමිණ උන්වහන්සේ වෙත ගොස්, “රබ්බී” යි කියා උන්වහන්සේ සිප ගත්තේ ය. ඔවුහු උන්වහන්සේ පිට අත් හෙළා, උන්වහන්සේ අත්අඩංගුවට ගත්හ. ළඟ සිටියවුන්ගෙන් කෙනෙක් තම කඩුව ඇද උත්තම පූජකයාගේ දාසයාට කොටා, ඔහුගේ කන කපා දැමී ය. ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “සොරකුට එරෙහිව මෙන් කඩු මුගුරු ගෙන නුඹලා මා අල්ලන්නට ආවා ද? දවස්පතා මම දේව මාලිගයේ නුඹලා අතර උගන්වමින් සිටියෙමි; නුඹලා මා අල්ලා ගත්තේ නැත. එනමුත් ශුද්ධ ලියවිලි ඉෂ්ට විය යුතු යැ” යි කී සේක. එවිට සැවොම උන්වහන්සේ අත්හැර, පලා ගියහ.

Free Reading Plans and Devotionals related to මාර්ක් 14:26-50