මාර්ක් 11:12-17
මාර්ක් 11:12-17 SCV
පසු දා ඔවුන් බෙතානියෙන් නික්ම එන කල, යේසුස්වහන්සේට කුස ගිනි විය. කොළ සහිත අත්තික්කා ගහක් උන්වහන්සේ දුරදීම දැක, එයින් යමක් හමුවේදැයි බැලීමට ගිය සේක්, ගස ළඟට පැමිණි කල, කොළ මිස අන් දෙයක් උන්වහන්සේ දුටුවේ නැත. මන්ද එය අත්තික්කා වාරය නො වී ය. එවිට උන්වහන්සේ ඒ ගස අමතා, “කිසිවෙක් යළි කිසි දින නුඹෙන් පල අනුභව නො කරත්වා” යි පැවසූ සේක. උන්වහන්සේගේ ගෝලයින්ට එය ඇසිණි. ඔවුහු යෙරුසලමට පැමිණියහ. යේසුස්වහන්සේ දේව මාලිගයට ඇතුළු ව, දේව මාලිගය තුළ විකුණමින් හා මිලයට ගනිමින් සිටියවුන් පිටතට පලවා හරින්නට පටන් ගත් සේක්, මුදල් මාරුකරන්නන්ගේ මේස ද පරෙවි වෙළඳුන්ගේ ආසන ද පෙරළා දැමූ සේක. දේව මාලිගය මැදින් කිසිවක් ගෙන යෑමට උන්වහන්සේ කිසිවකුට ඉඩ දුන්නේ නැත. ඉන්පසු යේසුස්වහන්සේ ඔවුන්ට උගන්වමින්, “ ‘මගේ ගෘහය සියලු ජාතීන්ට යාච්ඤාවේ ගෘහයක් වන්නේ ය’ කියා ලියා නැද්ද? එහෙත් නුඹලා එය ‘සොරුන්ගේ ගුහාවක්’ කර තිබේ යැ” යි පැවසූ සේක.





