YouVersion Logo
Search Icon

මාර්ක් 11:11-19

මාර්ක් 11:11-19 SCV

උන්වහන්සේ යෙරුසලමට පැමිණ, දේව මාලිගයට ඇතුළු ව එහි වූ සියල්ල දෙස බලා, ඒ වන විටත් සවස් ව තිබූ බැවින්, දොළොස් දෙනා ද කැටිව බෙතානිය බලා ගිය සේක. පසු දා ඔවුන් බෙතානියෙන් නික්ම එන කල, යේසුස්වහන්සේට කුස ගිනි විය. කොළ සහිත අත්තික්කා ගහක් උන්වහන්සේ දුරදීම දැක, එයින් යමක් හමුවේදැයි බැලීමට ගිය සේක්, ගස ළඟට පැමිණි කල, කොළ මිස අන් දෙයක් උන්වහන්සේ දුටුවේ නැත. මන්ද එය අත්තික්කා වාරය නො වී ය. එවිට උන්වහන්සේ ඒ ගස අමතා, “කිසිවෙක් යළි කිසි දින නුඹෙන් පල අනුභව නො කරත්වා” යි පැවසූ සේක. උන්වහන්සේගේ ගෝලයින්ට එය ඇසිණි. ඔවුහු යෙරුසලමට පැමිණියහ. යේසුස්වහන්සේ දේව මාලිගයට ඇතුළු ව, දේව මාලිගය තුළ විකුණමින් හා මිලයට ගනිමින් සිටියවුන් පිටතට පලවා හරින්නට පටන් ගත් සේක්, මුදල් මාරුකරන්නන්ගේ මේස ද පරෙවි වෙළඳුන්ගේ ආසන ද පෙරළා දැමූ සේක. දේව මාලිගය මැදින් කිසිවක් ගෙන යෑමට උන්වහන්සේ කිසිවකුට ඉඩ දුන්නේ නැත. ඉන්පසු යේසුස්වහන්සේ ඔවුන්ට උගන්වමින්, “ ‘මගේ ගෘහය සියලු ජාතීන්ට යාච්ඤාවේ ගෘහයක් වන්නේ ය’ කියා ලියා නැද්ද? එහෙත් නුඹලා එය ‘සොරුන්ගේ ගුහාවක්’ කර තිබේ යැ” යි පැවසූ සේක. ඒ ඇසූ නායක පූජකවරු හා දහම් පඬිවරු, උන්වහන්සේ මරා දැමීමට සෙවූහ. මන්ද මුළු පිරිස උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන විස්මිත වූ බැවින් ඔවුහු උන්වහන්සේට භය වූහ. සවස් වූ කල යේසුස්වහන්සේ නුවරින් නික්ම ගිය සේක.

Free Reading Plans and Devotionals related to මාර්ක් 11:11-19