YouVersion Logo
Search Icon

මතෙව් 9:18-31

මතෙව් 9:18-31 SCV

උන්වහන්සේ එසේ පවසද්දී, එතැනට පැමිණි පාලකයෙක් උන්වහන්සේ අබියස දණින් වැටී, “මගේ දුව මේ දැන් මියැදුණා. එහෙත් ඔබතුමා අවුත්, ඇය පිට ඔබේ අත තැබුවොත්, ඇය ජීවත් වනු ඇතැ” යි කීවේ ය. එවිට යේසුස්වහන්සේ නැගිට, තම ගෝලයින් ද සමඟ ඔහු අනුව ගිය සේක. ඒ අතර මෙන්න, පුරා දොළොස් වසරක් කිලිමාලයෙන් පෙළුණු ස්ත්‍රියක් උන්වහන්සේ පිටුපසින් අවුත්, උන්වහන්සේගේ සළුවේ වාටියට අත ගැසුවා ය. මන්ද, “උන්වහන්සේගේ සළුවටවත් අත ගැසුවොත් මා සුව වේ යැ” යි ඇය තමාට ම කියාගත් බැවිනි. යේසුස්වහන්සේ හැරී, ඇය දැක, “දිරිමත් වන්න දියණිය, ඔබේ ඇදහිල්ල ඔබ සුව කර ඇතැ” යි කී සේක. ඒ මොහොතේ පටන් ඒ ස්ත්‍රිය සුවය ලද්දා ය. යේසුස්වහන්සේ සිනගෝග පාලකයාගේ නිවසට පැමිණි කල, නළා වාදකයින් හා ඝෝෂාකාරී පිරිස දැක, ඔවුන් අමතා, “ඉවත් වන්න, දැරිය මැරී නැහැ; ඇය නිදන්නී යැ” යි කී සේක. එවිට ඔවුහු උන්වහන්සේට සිනාසුණහ. පිරිස පිටතට යවනු ලැබූ පසු, උන්වහන්සේ නිවස තුළට ගොස්, දැරියගේ අතින් ඇල්ලූ සේක. එවිට ඈ නැගිට්ටා ය. මෙපුවත පෙදෙස මුළුල්ලේ ම පැතිරිණි. යේසුස්වහන්සේ එතැන පසු කර යන කල, අන්ධයින් දෙදෙනෙක් උන්වහන්සේ පස්සේ යමින්, “අපට කරුණා කළ මැනව, දාවිත්ගේ පුත්‍රයාණෙනි” යි මොර ගසන්නට වන්හ. යේසුස්වහන්සේ නිවසට පිවිසි කල, අන්ධයෝ දෙදෙන උන්වහන්සේ වෙත ආහ. “මට මෙය කළ හැකි ය කියා ඔබ විශ්වාස කරනවා දැ?” යි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ කල, “එසේය ස්වාමිනි” යි ඔවුහු පිළිතුරු දුන්හ. එවිට ඔවුන්ගේ ඇස් ස්පර්ශ කළ උන්වහන්සේ, “ඔබගේ ඇදහිල්ල ලෙස ඔබට සිදු වේවා” යි පැවසූ සේක. එවිට ඔවුන්ගේ ඇස් පෑදිණි. යේසුස්වහන්සේ ඔවුන්ට තදින් අවවාද කරමින්, “කිසිවකුට මේ ගැන දැනගන්නට ඉඩ නො තබන්නැ” යි කී සේක. එහෙත් එතැනින් ඉවත් ව ගිය ඔවුහු මුළු පළාත පුරා උන්වහන්සේගේ කීර්තිය පතළ කළහ.

Free Reading Plans and Devotionals related to මතෙව් 9:18-31