මතෙව් 9:18-22
මතෙව් 9:18-22 SCV
උන්වහන්සේ එසේ පවසද්දී, එතැනට පැමිණි පාලකයෙක් උන්වහන්සේ අබියස දණින් වැටී, “මගේ දුව මේ දැන් මියැදුණා. එහෙත් ඔබතුමා අවුත්, ඇය පිට ඔබේ අත තැබුවොත්, ඇය ජීවත් වනු ඇතැ” යි කීවේ ය. එවිට යේසුස්වහන්සේ නැගිට, තම ගෝලයින් ද සමඟ ඔහු අනුව ගිය සේක. ඒ අතර මෙන්න, පුරා දොළොස් වසරක් කිලිමාලයෙන් පෙළුණු ස්ත්‍රියක් උන්වහන්සේ පිටුපසින් අවුත්, උන්වහන්සේගේ සළුවේ වාටියට අත ගැසුවා ය. මන්ද, “උන්වහන්සේගේ සළුවටවත් අත ගැසුවොත් මා සුව වේ යැ” යි ඇය තමාට ම කියාගත් බැවිනි. යේසුස්වහන්සේ හැරී, ඇය දැක, “දිරිමත් වන්න දියණිය, ඔබේ ඇදහිල්ල ඔබ සුව කර ඇතැ” යි කී සේක. ඒ මොහොතේ පටන් ඒ ස්ත්‍රිය සුවය ලද්දා ය.





