මතෙව් 9:1-13
මතෙව් 9:1-13 SCV
යේසුස්වහන්සේ ඔරුවකට නැගී, එතෙර වී, තමන්ගේ ම නගරයට පැමිණි සේක. එකල සයනයක හොවන ලද අංසබාග රෝගියකු කිහිප දෙනෙක් විසින් උන්වහන්සේ වෙත ගෙනෙන ලද්දේ ය. යේසුස්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක, අංසබාග රෝගියා අමතමින්, “ධෛර්යවත් වන්න; පුත්‍රය, ඔබේ පාප කමා කරන ලදැ” යි කී සේක. එවිට මෙන්න! දහම් පඬිවරු ඇතමෙක් තමන් අතරේ ම කතා කරමින්, “මේ මිනිසා දේවාපහාස කරතැ” යි කීහ. යේසුස්වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැන, “ඔබේ හදවත් මෙවැනි නපුරු දෑ සිතන්නේ මන්ද? කියන්නට වඩා පහසු කුමක් ද? ‘ඔබේ පාප කමා කරන ලදැ’ යි කීම ද නැතහොත්, ‘නැගිට ඇවිදින්නැ’ යි කීම ද? කෙසේ වුවත්, පොළොවේදී පාප කමා කිරීමට මනුෂ්‍ය-පුත්‍රයාට බලය ඇති බව ඔබ දැනගන්නා පිණිස යැ” යි පවසා, ඉන්පසු අංසබාග රෝගියාට, “නැගිටින්න; ඔබේ යහන රැගෙන ගෙදර යන්නැ” යි පැවසූ සේක. එවිට ඔහු නැගිට, ගෙදර ගියේ ය. ඒ දුටු ජන සමූහයා බයින් පිරී, එවන් ආධිපත්‍යයක් මිනිසුනට දුන් දෙවියන්වහන්සේට ප්‍රශංසා කළහ. යේසුස්වහන්සේ එතැන් සිට ගමන් ගනිද්දී, මතෙව් නම් වූ මිනිසෙක් අයබදු කාර්යාලයේ හිඳ සිටිනු දැක, “මා අනුව එන්නැ” යි ඔහුට කී සේක. එවිට ඔහු නැගිට, උන්වහන්සේ අනුව ගියේ ය. යේසුස්වහන්සේ මතෙව්ගේ නිවසේ මේසයට වාඩි වූ කල, බදු අය කරන්නන් බොහෝ දෙනෙක් ද පව්කාරයෝ ද පැමිණ, යේසුස්වහන්සේ හා උන්වහන්සේගේ ගෝලයින් සමඟ එකට වාඩිවූහ. ඒ දුටු පරිසිවරු, “නුඹලාගේ ගුරුතුමා බදු අය කරන්නන් හා පව්කරුවන් සමඟ කන්නේ මන්දැ?” යි උන්වහන්සේගේ ගෝලයන්ගෙන් ඇසූහ. උන්වහන්සේ ඒ ඇසූ කල, “වෙදකු ඕනෑ කරන්නේ නිරෝගීනට නො ව රෝගීන්ටයි. ‘මම යාග පූජාවට නො ව දයාවට ආශා ඇත්තෙමි’ යන්නෙහි අරුත කුමක් දැයි ගොසින් ඉගෙන ගන්න. මා ආවේ ධර්මිෂ්ඨයින් කැඳවීමට නො ව, පව්කරුවන් කැඳවීමට යැ” යි පැවසූ සේක.



![[Difference Makers] Courage මතෙව් 9:1-13 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F16762%2F1440x810.jpg&w=3840&q=75)

