මතෙව් 5:27-37
මතෙව් 5:27-37 SCV
“ ‘පරදාර සේවනය නො කළ යුතු ය’ කියා ඇති වග ඔබ අසා ඇත. එහෙත් මා ඔබට කියන්නේ, ස්ත්‍රියක දෙස රාගයෙන් බලන කවරකු වුව, ඒ වන විටත්, තම හදවතින් ඇය හා පරදාර සේවනයේ යෙදී ඇති වගයි. ඔබේ දකුණු ඇස, පාපයට ඔබ පොලඹවයි නම්, එය උගුලා ඉවත දමන්න. මන්ද ඔබගේ මුළු සිරුර ම නිරයට හෙළනු ලැබීමට වඩා සිරුරේ එක් අවයවයක් අහිමි වීම වඩා හොඳ ය. ඔබගේ දකුණු අත, පාපයට ඔබ පොලඹවයි නම්, එය කපා ඉවතලන්න. ඔබගේ මුළු සිරුර ම නිරයට යනවාට වඩා සිරුරේ එක් අවයවයක් අහිමි වීම ඔබට වඩා හොඳ ය. “ ‘තම භාර්යාව දික්කසාද කරන කවරකු වුව, ඇයට දික්කසාද සහතිකයක් දිය යුතු යැ’ යි කියා තිබේ. එහෙත් මා ඔබට කියන්නේ, ලිංගික අනාචාරය නිසා හැර, තම භාර්යාව අත්හැර දමන කවරකු වුව, පරදාර සේවනයට ඇය යොමු කරවන වගයි. අත්හැර දමන ලද ස්ත්‍රියක ආවාහ කර ගන්නා තැනැත්තා ද පරදාර සේවනයේ යෙදෙයි. “තවද, ‘බොරුවට නො දිවුරන්න; ස්වාමින්වහන්සේට කළ ඔබේ දිවුරුම ඉටු කරන්නැ’ යි පුරාතන ජනයාට කියා ඇති වග ඔබ අසා ඇත. එහෙත් මා ඔබට කියන්නේ, කොහෙත් ම නො දිවුරන්න. ස්වර්ගය, දෙවියන්වහන්සේගේ සිංහාසනය බැවින් එය ගැනවත්, පොළොව, උන්වහන්සේගේ පා පුටුව බැවින් එය ගැනවත්, යෙරුසලම, ශ්‍රේෂ්ඨ රජුගේ පුරවරය බැවින් එය ගැනවත් නො දිවුරන්න. ඔබේ හිස ගැනත් නො දිවුරන්න; මන්ද එක් හිස කෙසක්වත් සුදු හෝ කළු කරන්නට ඔබට නො හැකි ය. ඔබ කියන දේ ‘ඔව්’ නම් ඔව් කියා ද හෝ ‘නැත’ නම් නැත කියා ද කීම සෑහේ; ඊට වැඩියෙන් පවසන දෑ එන්නේ නපුරාගෙනි.





