මතෙව් 5:21-32
මතෙව් 5:21-32 SCV
“පුරාතන ජනයාට, ‘මිනී නො මරනු; මිනී මරන කවරකු නමුත් විනිශ්චයට යටත් යැ’ යි කියා ඇති වග ඔබ අසා තිබේ. එහෙත් මා ඔබට කියන්නේ තම සහෝදරයා සමඟ කෝප වන කවරකු වුවත්, විනිශ්චයට යටත් වගයි. තම සහෝදරයාට ‘රකා’ හෙවත් මෝඩයායි අපහාස කරන කවරකු වුව, මන්ත්‍රණ සභාවට යටත් ය, ‘ජඩයා’ යි අවමන් කරන කවුරුන් වුව, නිරා ගින්නට යටත් ය. “එබැවින් පූජාසනයේ ඔබ, ඔබේ පඬුර පුදන කල, ඔබේ සහෝදරයාට ඔබට එරෙහි යමක් වෙතැයි සිහි වුවහොත්, ඔබේ පඬුර, පූජාසනය පසෙක තබා, පළමු ව ගොස්, ඔබේ සහෝදරයා හා සමඟි වී, ඉන්පසු අවුත් ඔබේ පඬුර පුදන්න. “ඔබේ එදිරිවාදියා සමඟ උසාවියට යන අතර, පමා නො වී, ඔහු හා සමථයකට එළැඹෙන්න. නැතහොත් ඔහු නඩුකාරයා ඉදිරියට ඔබ පමුණුවනු ලබනු ඇත; නඩුකාරයා නීතියේ නිලධාරීන්ට ඔබ බාර දෙනු ඇත; ඔබ ව සිර ගෙයි දමනු ඇත. සත්තකින් ම මා ඔබට කියන්නේ, අන්තිම සතය දක්වා ඔබේ දඩය ගෙවා දමන තුරු, ඔබ ඉන් පිටතට නො එන බවයි. “ ‘පරදාර සේවනය නො කළ යුතු ය’ කියා ඇති වග ඔබ අසා ඇත. එහෙත් මා ඔබට කියන්නේ, ස්ත්‍රියක දෙස රාගයෙන් බලන කවරකු වුව, ඒ වන විටත්, තම හදවතින් ඇය හා පරදාර සේවනයේ යෙදී ඇති වගයි. ඔබේ දකුණු ඇස, පාපයට ඔබ පොලඹවයි නම්, එය උගුලා ඉවත දමන්න. මන්ද ඔබගේ මුළු සිරුර ම නිරයට හෙළනු ලැබීමට වඩා සිරුරේ එක් අවයවයක් අහිමි වීම වඩා හොඳ ය. ඔබගේ දකුණු අත, පාපයට ඔබ පොලඹවයි නම්, එය කපා ඉවතලන්න. ඔබගේ මුළු සිරුර ම නිරයට යනවාට වඩා සිරුරේ එක් අවයවයක් අහිමි වීම ඔබට වඩා හොඳ ය. “ ‘තම භාර්යාව දික්කසාද කරන කවරකු වුව, ඇයට දික්කසාද සහතිකයක් දිය යුතු යැ’ යි කියා තිබේ. එහෙත් මා ඔබට කියන්නේ, ලිංගික අනාචාරය නිසා හැර, තම භාර්යාව අත්හැර දමන කවරකු වුව, පරදාර සේවනයට ඇය යොමු කරවන වගයි. අත්හැර දමන ලද ස්ත්‍රියක ආවාහ කර ගන්නා තැනැත්තා ද පරදාර සේවනයේ යෙදෙයි.





