මතෙව් 27:24-66
මතෙව් 27:24-66 SCV
තම වෑයම නිෂ්ඵල බවත්, ඊටත් වඩා ඔවුන්ගේ ගාලගෝට්ටිය ඇරඹුණු බවත් දුටු පිලාත්, ජලය ගෙන සමූහයා ඉදිරියේ තම අත් සෝදා ගනිමින්, “මේ මිනිසාගේ ලේ ගැන මා නිර්දෝෂයි. එහි වගකීම නුඹලා පිට යැ!” යි කීවේ ය. මුළු ජනතාව පිළිතුරු දෙමින්, “ඔහුගේ ලේ අප පිටත්, අපගේ දරුවන් පිටත් වේවා!” යි කීහ. ඉන්පසු ඔවුනට බරබ්බස් නිදහස් කර දුන් පිලාත්, යේසුස්වහන්සේට තලවා, කුරුසියේ ඇණ ගසන්නට බාර දුන්නේ ය. ඉන්පසු ආණ්ඩුකරුගේ හේවායෝ ප්‍රේතෝරියම් නම් වූ ආණ්ඩුකාර මූලස්ථානයට යේසුස්වහන්සේ ගෙන ගොස්, මුළු හේවා සේනාංකය ම උන්වහන්සේ ඉදිරියේ රැස් කරවූහ. ඔවුහු උන්වහන්සේගේ ඇඳුම් ගලවා දමා, තද රත් පැහැ ලෝගුවක් උන්වහන්සේට ඇඳවූහ. ඉන්පසු කටු ඔටුන්නක් ගොතා, එය උන්වහන්සේගේ හිස මත තබා, බට දණ්ඩක් උන්වහන්සේගේ සුරතෙහි තබා, උන්වහන්සේ අබියස දණ ගසා, උන්වහන්සේට සමච්චල් කරමින්, “යුදෙව් රජ දිනේවා!” යි කීවෝ ය. උන්වහන්සේට කෙළ ගැසූ ඔවුහු, බට දණ්ඩ ගෙන, උන්වහන්සේගේ හිසට ඉන් පහර දුන්හ. මෙසේ ඔවුහු සරදම් කළ පසු, ලෝගුව ගලවා, උන්වහන්සේගේ ම ඇඳුම් අඳවා, කුරුසියේ ඇණ ගසනු පිණිස පිටතට උන්වහන්සේ ගෙන ගියහ. ඔවුන් පිටතට යද්දී, නමින් සීමොන් වූ සිරේනියානු මිනිසෙක් ඔවුනට මුණ ගැසිණි. උන්වහන්සේගේ කුරුසිය උසුලාගෙන යෑමට ඔවුහු ඔහුට බල කළහ. හිස්කබලේ ස්ථානය යන අරුතැති ගොල්ගොතා නමින් හැඳින්වෙන ස්ථානයට ළඟා වූ කල, ඔවුහු තිත්ත රස මුසු මිදි යුෂ උන්වහන්සේට බොන්නට දුන්හ. උන්වහන්සේ එය දිව ගා, ප්‍රතික්ෂේප කළ සේක. උන්වහන්සේ කුරුසියේ ඇණ ගැසූ ඔවුහු, උන්වහන්සේගේ වස්ත්‍ර බෙදා ගන්නට පස ඇට දැමූහ. ඉන්පසු එතැන හිඳගත් ඔවුහු උන්වහන්සේ මුර කළහ. උන්වහන්සේට එරෙහිව වූ චෝදනාව උන්වහන්සේගේ හිසට උඩින්, යුදෙව්වන්ගේ රජු වූ යේසුස් ය මේ යනුවෙන් ලියන ලද පුවරුවක් විය. යුදෙව්වන්ගේ රජු වූ යේසුස් ය මේ. සොරුන් දෙදෙනෙක් ද එක් කෙනකු උන්වහන්සේගේ දකුණු පසින් හා අනෙකා උන්වහන්සේගේ වම් පසින් සිටින සේ එහි උන්වහන්සේ සමඟ කුරුසිපත් කළහ. එතැන පසු කර ආ-ගිය අය තම හිස් වනමින්, උන්වහන්සේට නින්දා-ගැරහුම් කරමින්, “දේව මාලිගාව කඩා, තුන් දවසකින් එය යළි ගොඩ නගන නුඹ, නුඹ ම ගලවා ගනින්! නුඹ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් කුරුසියෙන් බැස එනු” යි පැවසූහ. නායක පූජකවරු ද දහම් පඬිවරුන් හා වැඩිහිටියන් සමඟ උන්වහන්සේට සමච්චල් කරමින්, “ඔහු අනුන් ගැලෙව්වා! එහෙත් තමා ම ගලවා ගන්න බැහැ! ඔහු ඉශ්‍රායෙල් රජ්ජුරුවෝ නො වැ, ඔහු කුරුසියෙන් බැස ආවා වේ! එවිට අප ඔහු විශ්වාස කරනවා. ඔහු දෙවියන්වහන්සේ තුළ විශ්වාසය තබයි. දෙවියන්වහන්සේ ඔහුට කැමති සේක් නම්, උන්වහන්සේ ඔහු ගලවන සේක්වා! මන්ද ‘මම දෙවියන්වහන්සේගේ පුත්‍රයා යැ’ යි ඔහු කියා ඇතැ” යි කීහ. උන්වහන්සේ සමඟ කුරුසිපත් කර සිටි සොරු ද එලෙස ම උන්වහන්සේට නින්දා අපහාස කළහ. හය වන පැයේ සිට නව වන පැය දක්වා දේශය මුළුල්ලේ අන්ධකාරයක් විය. නව වන පැයේදී පමණ යේසුස්වහන්සේ උස් හඬින් මොර ගසමින්, “ඒලී, ඒලී, ලාමා සබක්තානි?” පැවසූ සේක. එහි අරුත “මගේ දෙවියන්වහන්ස, මගේ දෙවියන්වහන්ස, ඔබ මා අත්හැරියේ මන්ද?” යනුයි. ඒ ඇසූ එතැන සිටි ඇතමෙක්, “මේ මිනිසා එලියාට හඬ ගසනවා යැ” යි කීහ. ඔවුන්ගෙන් කෙනෙක් වහා දිව ගොස් මූදු හත්තක් ගෙන, මිදි යුෂ-විනාකිරෙන් එය පොඟවා, දණ්ඩක අමුණා යේසුස්වහන්සේට බොන්නට ළං කළේ ය. එවිට සෙසු අය, “ඔහොම ඉන්න දෙන්න; ඔහු ගලවන්නට එලියා ඒදැයි බලමු” යි කීහ. යළිත් වරක් උස් හඬින් මොර ගැසූ යේසුස්වහන්සේ තම ආත්මය බාර දුන් සේක. එවේලේ මෙන්න! දේව මාලිගයේ තිරය ඉහළ සිට පහළට දෙකඩ ව පැළිණි. පොළොව කම්පනය විය. පර්වත දෙදරුම් කැවිණ. සොහොන් විවර වී, සැතපී සිටි බොහෝ ශුද්ධවතුන්ගේ සිරුරු නැගිටුවන ලදහ. ඔවුහු තම සොහොන්වලින් පිටතට අවුත්, යේසුස්වහන්සේගේ නැගිටීමෙන් පසු, ශුද්ධ නගරයට ඇතුල් ව බොහෝ දෙනකුට පෙනුණහ. යේසුස්වහන්සේ මුර කරමින් සිටි සියයේ සේනාධිපතියා හා ඔහු සමඟ සිටි අය පොළෝ කම්පාවත්, සිදු වූ අන් සියල්ලත් දුටු කල, බයින් වෙළී, “නිසැකයෙන් ම ඔහු දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ම වී යැ!” යි පැවසූහ. දුරින් සිට එදෙස බලා සිටි ස්ත්‍රීන් බොහෝ දෙනෙක් ද එහි වූහ. ඔවුහු යේසුස්වහන්සේට උපස්ථාන කරමින් ගලීලයේ සිට උන්වහන්සේ අනුව ආවෝ වූහ. ඔවුන් අතර මග්දලාහි මරියා ද යාකොබ් හා යෝසෙප්ගේ මව වූ මරියා හා සෙබදීගේ පුත්‍රයන්ගේ මව ද වූහ. යේසුස්වහන්සේගේ ගෝලයකු ව සිටි යෝසෙප් නම් වූ ධනවත් මනුෂ්‍යයෙක් සවස් වෙද්දී, අරමාතියේ සිට එහි ආවේ ය. ඔහු පිලාත් වෙත ගොස්, යේසුස්වහන්සේගේ දේහය ඉල්ලී ය. එවිට එය ඔහුට බාර දෙන ලෙස පිලාත් නියෝග කළේ ය. යෝසෙප් දේහය ගෙන, පිරිසිදු හණ රෙද්දකින් ඔතා, පර්වතයක් කැණ තනා තිබූ ඔහුට ම අයත් අලුත් සොහොන් ලෙන තුළ දේහය තැන්පත් කළේ ය. ලෙන් පිවිසුමට මහත් ගලක් පෙරළා තැබූ ඔහු යන්නට ගියේ ය. මග්දලාහි මරියා හා අනෙක් මරියා සොහොන් ලෙන අබියස හිඳගෙන වුන්හ. පසු දින, එනම් සූදානම් වීමේ දවසට පසු දින, නායක පූජකවරු හා පරිසිවරු පිලාත් වෙත රැස් වී, ඔහු අමතමින්, “මැතිඳුනි, ඒ ප්‍රයෝගකාරයා ජීවත් ව සිටියදී, ‘තුන් දිනකින් මම යළි නැගිටිමි’ යි කී බව අපට මතකයි. එබැවින් තුන් දවසක් යන තෙක් ඔහුගේ සොහොන රැකවල් ලන්නට අණ කරන්න. නැතහොත් ඔහුගේ ගෝලයින් අවුත්, මිනිය සොරාගෙන ගොස්, ඔහු මළවුන්ගෙන් නැගිටුණායි ජනයාට කියාවි. එවිට මේ අවසන් රැවටිල්ල, ඒ පළමු එකටත් වඩා නරක් වනු ඇතැ” යි කීහ. පිලාත් පිළිතුරු දෙමින්, “නුඹලාට මුර සෙබළු ඉන්නවා. ගොසින්, රිසි පරිදි සොහොන රැකවල් ලන්නැ” යි කීවේ ය. එබැවින් ඔවුහු ගොස්, සොහොන් ගල මුද්‍රා තබා, මුර භටයින් සිටුවා, සොහොන රැකවල් ලූහ.





