YouVersion Logo
Search Icon

මතෙව් 27:16-26

මතෙව් 27:16-26 SCV

බරබ්බස් නම් වූ ප්‍රසිද්ධ සිරකරුවෙක් එකල ඔවුන්ට සිටියේ ය. එබැවින්, ජනයා එක් රොක් වූ කල පිලාත්, ඔවුන් අමතමින්, “මා ඔබට කවරකු නිදහස් කර දෙනවාට ඔබ කැමති ද? බරබ්බස් ද? නැති නම් ක්‍රිස්තුස් ය කියන යේසුස් දැ?” යි ඇසී ය. මන්ද ඔවුන් තමා අතට උන්වහන්සේ පාවා දුන්නේ ඊර්ෂ්‍යාව නිසා බැව් ඔහු දැන සිටියේ ය. පිලාත් විනිශ්චය ආසනයේ හිඳ සිටියදී, ඔහුගේ භාර්යාව ඔහුට පණිවුඩයක් එවමින්, “ඒ ධර්මිෂ්ඨ මිනිසාට කිසිවක් නො කරන්න. මා අද සිහිනෙන් ඔහු ගැන බොහෝ සේ වේදනා වින්දා” යි දැන්වූවා ය. ඒ අතර නායක පූජකයෝ හා වැඩිහිටියෝ, බරබ්බස් නිදහස් කරන ලෙසත්, යේසුස්වහන්සේ මරා දමන ලෙසත් ඉල්ලන්නට සමූහයා කැමති කරවා ගත්හ. ආණ්ඩුකාරයා යළි ඔවුන් අමතමින්, “මේ දෙදෙනාගෙන් කවුරු මා ඔබට නිදහස් කර දෙනවාට ඔබ කැමති දැ?” යි ඇසී ය. “බරබ්බස්” යයි ඔවුහු කීහ. “එසේ නම්, ක්‍රිස්තුස් ය කියන මේ යේසුස්ට මා කුමක් කළ යුතු දැ?” යි පිලාත් ඇසී ය. “ඔහු කුරුසියේ ඇණ ගසනු” යි ඔවුහු සියල්ලෝ කීවෝ ය. “ඇයි? ඔහු මොන අපරාධයක් කළාට දැ?” යි පිලාත් ඇසී ය. එහෙත් ඔවුහු, “ඔහු කුරුසියේ ඇණ ගසනු!” යි කියමින් ඝෝෂා කළහ. තම වෑයම නිෂ්ඵල බවත්, ඊටත් වඩා ඔවුන්ගේ ගාලගෝට්ටිය ඇරඹුණු බවත් දුටු පිලාත්, ජලය ගෙන සමූහයා ඉදිරියේ තම අත් සෝදා ගනිමින්, “මේ මිනිසාගේ ලේ ගැන මා නිර්දෝෂයි. එහි වගකීම නුඹලා පිට යැ!” යි කීවේ ය. මුළු ජනතාව පිළිතුරු දෙමින්, “ඔහුගේ ලේ අප පිටත්, අපගේ දරුවන් පිටත් වේවා!” යි කීහ. ඉන්පසු ඔවුනට බරබ්බස් නිදහස් කර දුන් පිලාත්, යේසුස්වහන්සේට තලවා, කුරුසියේ ඇණ ගසන්නට බාර දුන්නේ ය.