YouVersion Logo
Search Icon

මතෙව් 26:47-56

මතෙව් 26:47-56 SCV

උන්වහන්සේ කතා කරද්දී ම, දොළොස් දෙනාගෙන් කෙනකු වූ යූදස් එහි ළඟා වූයේ, නායක පූජකයින් හා ජනයාගේ වැඩිහිටියන් විසින් එවනු ලැබූ, කඩු මුගුරු රැගත් මහා පිරිසක් ද සමඟ ය. පාවා දෙන්නා කණ්ඩායමට ලකුණක් දෙමින්, “මම යමකු සිඹිම් ද තැනැත්තා ඔහුයි; ඔහු අල්ලා ගන්නැ” යි සූදානම් කොට තිබිණි. ඔහු කෙළින් ම යේසුස්වහන්සේ වෙත ගොස්, “සෙත් වේවා රබ්බී!” යි කියා උන්වහන්සේ සිප ගත්තේ ය. “මිත්‍රය, ඔබ කරන්නට ආ දේ කරන්නැ” යි යේසුස්වහන්සේ ඔහුට පැවසූ සේක. පැමිණි පිරිස එවිට ඉදිරියට අවුත්, යේසුස්වහන්සේ පිට අත් හෙළා, උන්වහන්සේ අත්අඩංගුවට ගත්හ. එවිට මෙන්න, යේසුස්වහන්සේ සමඟ සිටි කෙනෙක් අත දිගු කොට, තම කඩුව ඇද, උත්තම පූජකයාගේ දාසයාගේ කන කැපෙන්නට කඩු පහරක් ගැසී ය. යේසුස්වහන්සේ, එවිට ඔහු අමතමින්, “ඔබේ කඩුව යළි කොපුවේ දමා ගන්න. මන්ද කඩුගත් සියල්ලෝ කඩුවෙන් ම නසිති. මගේ පියාණන්වහන්සේගෙන් ආධාර ඉල්ලන්නට මට බැරියැයි ඔබ සිතනවා ද? එවිට මේ දැන් මා වෙත දේව දූත සේනාංක දොළහක් උන්වහන්සේ නො එවාවි ද? එසේ කළහොත් විය යුතු යයි කියැවෙන ශුද්ධ ලියවිලි පාඨ ඉටු වන්නේ කෙසේ දැ?” යි පැවසූ සේක. ඒ පැයේදී යේසුස්වහන්සේ පිරිස් අමතමින්, “මංකොල්ලකරුවකුට එරෙහිව මෙන් කඩු මුගුරු ගෙන නුඹලා මා අල්ලන්නට ආවා ද? දවස්පතා මම දේව මාලිගයේ හිඳ ඉගැන්වූයෙමි. එහෙත් නුඹලා මා අල්ලා ගත්තේ නැත. සැබවින් ම මේ හැම එකක් ම සිදු වූයේ දිවැසිවරුන්ගේ ලියවිලි ඉටු වන පිණිස යැ” යි කී සේක. එවිට උන්වහන්සේගේ ගෝලයෝ හැම උන්වහන්සේ අත්හැර පලා ගියහ.

Free Reading Plans and Devotionals related to මතෙව් 26:47-56