YouVersion Logo
Search Icon

මතෙව් 26:36-44

මතෙව් 26:36-44 SCV

ඉන්පසු තම ගෝලයින් සමඟ ගෙත්සෙමන නම් ස්ථානයට පැමිණි යේසුස්වහන්සේ, “මා අතැනට ගොස්, යාච්ඤා කරන තුරු, මෙහි හිඳ සිටින්නැ” යි ඔවුනට කී සේක. උන්වහන්සේ පේතෘස් හා සෙබදීගේ පුතුන් දෙදෙනා කැටිව ගොස්, ශෝක වන්නටත්, සංවේගී වන්නටත් විය. එකල උන්වහන්සේ ඔවුන් අමතමින්, “මැරෙන තරමට මගේ ජීවය ශෝකයෙන් මිරිකෙයි. මා සමඟ මෙහි අවදියෙන් ඉන්නැ” යි පැවසූ සේක. ඉන්පසු එයින් මදක් ඔබ්බට ගිය උන්වහන්සේ බිම වැටී, මුහුණ බිමට නමා, යාච්ඤා කරමින්, “මගේ පියාණෙනි, කළ හැකි නම් මේ කුසලාන මා වෙතින් ඉවත් කළ මැනව. එහෙත්, මගේ කැමැත්ත ලෙස නො ව, ඔබගේ කැමැත්ත ලෙස වේවා!” යි කී සේක. ඉන්පසු ගෝලයින් වෙත පැමිණි කල, ඔවුන් නිදා සිටිනු දුටු උන්වහන්සේ පේතෘස් අමතමින්, “මා සමඟ එක පැයක් අවදියෙන් ඉන්න ඔබට බැරි වුණා ද? පරීක්ෂාවට නො වැටෙන පිණිස, අවදිව සිටිමින් යාච්ඤා කරන්න. ආත්මය කැමතියි. එහෙත් මාංසය දුර්වල යැ” යි කී සේක. දෙවන වරටත් ඔවුන් වෙතින් මෑත් වූ යේසුස්වහන්සේ, “මගේ පියාණෙනි, මා පානය කරනු ලැබීමෙන් තොර ව මේ කුසලාන ඉවත් කළ නො හැකි නම්, ඔබගේ කැමැත්තම වේවා!” යි යාච්ඤා කළ සේක. යළි ගෝලයින් වෙත ආ උන්වහන්සේ ඔවුන් යළි නිදා සිටිනු දුටු සේක. මන්ද ඔවුන්ගේ ඇස් නිදි බර ව තිබිණි. ඔවුන් වෙතින් යළිත් මෑතට ගිය උන්වහන්සේ, තුන් වන වරටත් යාච්ඤා කරමින්, එම වචන ම පැවසූ සේක.