YouVersion Logo
Search Icon

මතෙව් 26:1-16

මතෙව් 26:1-16 SCV

යේසුස්වහන්සේ මේ සියල්ල කියා නිම කළ පසු, තම ගෝලයින් අමතමින්, “තව දවස් දෙකකින් පාස්කු උළෙල එන වග ඔබ දනී. මනුෂ්‍ය පුත්‍රයාණන් ද කුරුසිපත් කරනු ලබන්නට පාවා දෙනු ලබන්නේ යැ” යි කී සේක. එකල නායක පූජකයෝ හා ජනයාගේ වැඩිහිටියෝ කායාපස් නම් වූ උත්තම පූජකයාගේ මන්දිරයට රැස් වූවෝ, රහසේ ම යේසුස්වහන්සේ අත්අඩංගුවට ගෙන, මරා දමන්නේ කෙසේදැයි කුමන්ත්‍රණ කළෝ ය. නමුත්, “උළෙල දවස්වල නො වෙයි; නැතහොත් ජනයා කැලඹෙන්නට පුළුවනි” යි කීහ. යේසුස්වහන්සේ බෙතානි ගම්මානයේ කුෂ්ඨ රෝගියා වූ සීමොන්ගේ නිවසේ සිටියදී, කිරිගරුඬ බඳුනක ඉතා මිල අධික සුවඳ විලවුන් රැගෙන ආ එක් ස්ත්‍රියක්, උන්වහන්සේ මේසයට හිඳ සිටියදී, ඒ සුවඳ විලවුන් උන්වහන්සේගේ හිසේ වත් කළා ය. ඒ දුටු ගෝලයෝ කුපිත ව, “මේ මොන නාස්තියක් ද? මේ සුවඳ විලවුන් වැඩි මිලකට විකුණා, ඒ මුදල් දුප්පතුන්ට බෙදා දෙන්න තිබුණා” යි කීවෝ ය. යේසුස්වහන්සේ ඒ බව දැන, ඔවුන් අමතමින්, “මේ ස්ත්‍රියට කරදර කරන්නේ ඇයි? ඇය මට කර තිබෙන්නේ මනහර දෙයක්. මන්ද දිළිඳුන් හැමදා ඔබ අතරේ සිටිනවා. එහෙත් මා හැමදා ඔබ සමඟ සිටින්නේ නැහැ. මෙම විලවුන් මා සිරුරේ වත් කිරීමෙන් ඇය කළේ, භූමදානයට මා සූදානම් කිරීමයි. සැබවින් ම මා ඔබට කියන්නේ, ලොව මුළුල්ලේ මේ ශුභාරංචිය ප්‍රකාශ කරන කොතැනක වුව ද, මැය සිහිපත් කරමින්, ඇය කළ දෑ ගැන ද කියනු ලබනු ඇතැ” යි පැවසූ සේක. එකල දොළොස් දෙනාගෙන් කෙනකු වූ යූදස් ඉස්කාරියොත් නැමැත්තා නායක පූජකවරුන් වෙත ගොස්, “මා, ඔබට එතුමන් පාවා දුන්නොත් ඔබ මට දෙන්නේ මොනවා දැ?” යි ඔවුන්ගෙන් ඇසී ය. ඔවුහු රිදී කාසි තිහක් කිරා ඔහුට දුන්හ. එවේලේ පටන් ඔහු උන්වහන්සේ පාවා දීමට සුදුසු අවස්ථාවක් ගැන සෙවිල්ලෙන් සිටියේ ය.

Free Reading Plans and Devotionals related to මතෙව් 26:1-16