මතෙව් 25:14-40
මතෙව් 25:14-40 SCV
“තවද එය, තම මෙහෙකරුවන් කැඳවා, ඔවුන්ට තම වස්තුව පවරා, චාරිකාවක යෙදුණු මිනිසකුට සමාන ය. ඔහු කෙනකුට තලෙන්ත පහක් ද තවකකුට තලෙන්ත දෙකක් ද තවකකුට එක් තලෙන්තයක් ද යන වශයෙන් ඒ ඒ අයගේ හැකියාව අනුව බාර දුන්නේ ය. ඉන්පසු ඔහු පිටත් ව ගියේ ය. තලෙන්ත පහ ලද තැනැත්තා සැණෙක පිටත් ව ගොස්, ඒවා යොදවා වෙළඳාම් කර, තවත් තලෙන්ත පහක් ඉපද වී ය. තලෙන්ත දෙක ලද තැනැත්තා ද එලෙස, වැඩිපුර තවත් තලෙන්ත දෙකක් ඉපද වී ය. එහෙත් එක් තලෙන්තය ලද තැනැත්තා පිටතට ගොස් පොළොවේ වළක් හාරා, තම හාම්පුතාගේ මුදල එහි සැඟවී ය. “දිගු කලකට පසු පෙරළා පැමිණි ඒ සේවකයින්ගේ හාම්පුතා ඔවුන් සමඟ ගණන් බැලුවේ ය. එවිට තලෙන්ත පහ ලද තැනැත්තා වැඩිපුර වූ තලෙන්ත පහ ද ඉදිරියට ගෙන අවුත්, ‘ස්වාමිනි, ඔබ තලෙන්ත පහක් මට බාර දුන්නා. මෙන්න, මා ඉන් වැඩිපුර පහක් ඉපදෙව්වා’ යි කීවේ ය. “ඔහුගේ හාම්පුතා කතා කරමින්, ‘අගෙයි යහපත්, විශ්වාසවත් දාසය, සුළු දේ ගැන ඔබ විශ්වාසී වූ නිසා, බොහෝ දේවල බාරකාරත්වයට මම ඔබ පත් කරමි. එන්න; ඇවිත් ඔබගේ හාම්පුතාගේ ප්‍රීතියට පංගුකරුවකු වන්නැ!’ යි කී ය. “තලෙන්ත දෙක ලද තැනැත්තා ද ඉදිරියට අවුත්, ‘ස්වාමිනි, ඔබ තලෙන්ත දෙකක් මට බාර දුන්නා. මෙන්න, මා වැඩිපුර තවත් දෙකක් ඉපදෙව්වා’ යි කී ය. “ඔහුගේ හාම්පුතා ඔහු අමතමින්, ‘අගෙයි යහපත්, විශ්වාසවත් දාසය, සුළු දේ ගැන ඔබ විශ්වාසී වූ නිසා, බොහෝ දේවල බාරකාරත්වයට මම ඔබ පත් කරමි. එන්න; ඇවිත් ඔබගේ හාම්පුතාගේ ප්‍රීතියට පංගුකරුවකු වන්නැ!’ යි කී ය. “ඉන්පසු, එක් තලෙන්තය ලද තැනැත්තා ඉදිරියට අවුත්, ‘ස්වාමිනි ඔබ, නො වපුළ දේ කපා ගන්නා වූ, නො විසිරු බීජ රැස්කරන්නාවූ තද ගති ඇති කෙනකු බැව් මා දැන සිටියා. එබැවින් මා බයින් ගොස්, ඔබගේ තලෙන්තය පොළොවේ වළලා තැබුවා. මෙන්න, ඔබට අයිති දේ’ යි කී ය. “ඔහුගේ හාම්පුතා පිළිතුරු දෙමින්, ‘දුෂ්ට, අලස දාසය! මා නො වපුළ දේ කපා ගන්නා, නො විසිරු බීජ රැස්කරනා කෙනකු වග ඔබ දැන සිටියා ද? එසේ නම් ඔබ කළ යුතු ව තිබුණේ, මගේ මුදල් බැංකුකරුවන් වෙත ආයෝජන කිරීමයි. එසේ කළා නම්, මා ආපසු ආ කල, පොලියත් සමඟ මට හිමි දේ ආපසු ගත හැකි ව තිබුණා. “ ‘තලෙන්තය මොහුගෙන් ගෙන, තලෙන්ත දහය ඇත්තාට දෙන්න. මන්ද ඇති හැම කෙනකුට වඩ වඩා දෙනු ලැබේ. ඔහුට අධික ව ලැබේ. නැති තැනැත්තාගෙන් ඔහුට ඇති දේත් ගනු ලැබේ. කිසි කමකට නැති මේ දාසයා පිටත අන්ධකාරයට හෙළනු; එතැන වැලපීමත්, දත්මිටි කෑමත් වන්නේ යැ’ යි කීවේ ය. “මනුෂ්‍ය පුත්‍රයාණන් ස්වකීය තේජසින් යුතු ව, සියලු දේව දූතයින් ද සමඟ එන කල, උන්වහන්සේ ස්වකීය තේජාන්විත සිංහාසනයේ අසුන් ගන්නා සේක. එකල සියලු ජාතීහු උන්වහන්සේ ඉදිරියට රැස් කරනු ලබති. එවිට එඬේරකු, එළුවන් වෙතින් බැටළුවන් වෙන් කරන්නා සේ, උන්වහන්සේ ජනයා, කෙනකුගෙන් කෙනකු වෙන් කරනු ඇත. උන්වහන්සේ බැටළුවන් තම දකුණු පසෙහි ද එළුවන් තම වම් පසෙහි ද තබන සේක. “එවිට රජ්ජුරුවෝ තමන් දකුණු පස සිටින්නන් අමතමින්, ‘එන්න, මගේ පියාණන්වහන්සේගෙන් ආශිර්වාද ලද්දනි, ලොව අත්තිවාරම් ලූ තැන් පටන් ඔබ සඳහා සූදානම් කරන ලද රාජ්‍යය උරුම කර ගන්න. මන්ද මා සාගිනි ව සිටියා; ඔබ මට ආහාර දුන්නා. මා පිපාසිත ව සිටියා; ඔබ මට බොන්නට දුන්නා. මා ආගන්තුක ව සිටියා; ඔබ නිවසට මා පිළිගත්තා. මා නිර්වස්ත්‍ර ව සිටියා; ඔබ මට ඇඳුම් ඇඳවූවා. මා රෝගී ව සිටියා; ඔබ මට සැලකුවා. මා සිරගත ව සිටියා. ඔබ මා බලන්නට ආවා’ යි කියනු ඇත. “එවිට ධර්මිෂ්ඨයෝ උන්වහන්සේට පිළිතුරු දෙමින්, ‘ස්වාමිනි, ඔබ සාගිනි ව සිටිනු දැක අප ඔබට ආහාර දුන්නේ කවරදා ද? ඔබ පිපාසිත ව සිටිනු දැක ඔබට බොන්නට දුන්නේ කවරදා ද? ඔබ ආගන්තුක ව සිටිනු දැක, ඔබ පිළිගත්තේ කවරදා ද? නිර්වස්ත්‍ර ව සිටිනු දැක, ඔබට ඇඳුම් හැඳවූයේ කවරදා ද? ඔබ රෝගී ව හෝ සිරගත ව හෝ සිටිනු දැක අප ඔබ බලන්න ආවේ කවරදා දැ?’ යි අසනු ඇත. “එවිට රජ්ජුරුවෝ පිළිතුරු දෙමින්, ‘සැබවින් ම මා ඔබට කියන්නේ, මගේ මේ සහෝදරයින්ගෙන් ඉතාම සුළු කෙනකුට හෝ ඔබ කළ යම් දෙයක් වේ ද, ඔබ එය කළේ මට යැ’ යි පවසනු ඇත.





