මතෙව් 24:32-44
මතෙව් 24:32-44 SCV
“අත්තික්කා ගසෙන් මේ පාඩම ඉගෙන ගන්න: එහි රිකිලි මෘදු වී, ඒවායේ කොළ ලියලන විට, ගිම්හාන කාලය ළඟා වී ඇති බැව් ඔබ දනිති. එලෙස ම, මේ දේවල් සිදු වනු දකින කල, උන්වහන්සේ අත ළඟ වග, දොරකඩ ළඟ ම බව දැනගන්න. සැබවින් ම මා ඔබට කියන්නේ, මේ හැම දේ සිදුවන තුරු මේ පරම්පරාව පහව නො යන බවයි. අහසත් පොළොවත් පහව යනු ඇත. එහෙත් මගේ වචන පහව යන්නේ නැත. “පියාණන්වහන්සේ පමණක් මිස, ඒ දවස හෝ ඒ පැය ගැන කිසිවකු දන්නේ නැත; ස්වර්ගයේ දේව දූතයින්වත්, පුත්‍රයාණන්වත් දන්නේ නැත. මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ පැමිණීමේදී වන්නේ නෝවාගේ දවස්වලදී සිදු වූ ලෙස ම ය. මන්ද ජලගැල්මට කලින් නෝවා නැවට ඇතුළු වූ දවස දක්වා මිනිසුන් කමින් ද බොමින් ද ආවාහ කර ගනිමින් ද හා විවාහ වෙමින් සිටි ලෙස ය. ජලගැල්ම ගලා, ඔවුන් හැම ගසා ගෙන යන තුරු කුමක් වී දැයි ඔවුහු නො දත්හ. මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ පැමිණීමේදී සිදු වන්නේ එය ම ය. මිනිසුන් දෙදෙනකු කෙතේ සිටිනු ඇත. ඉන් කෙනෙක් ගනු ලැබේ; අනෙකා හැර දමා යනු ලැබේ. ස්ත්‍රීන් දෙදෙනකු ඇඹරුම් ගලක අඹරමින් සිටිනු ඇත. ඉන් කෙනෙක් ගනු ලැබේ; අනෙක් තැනැත්තිය හැර දමා යනු ලැබේ. “එබැවින් විමසිල්ලෙන් සිටින්න. මන්ද ඔබගේ ස්වාමින්වහන්සේ කෙදිනක පැමිණේදෝයි ඔබ නො දන්නා බැවිනි. එනමුත් මෙය වටහා ගන්න: සොරා එන්නේ රැයේ කවර පැයේදැයි ගෘහ මූලිකයා දැන සිටියේ නම්, විපරමින් සිට, තම ගේ බිඳීමට ඔහු ඉඩ තබන්නේ නැත. එබැවින් ඔබත් සූදානමින් සිටිය යුතුයි. මන්ද එතැයි ඔබ නො සිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයාණන් පැමිණෙනු ඇත.





