YouVersion Logo
Search Icon

මතෙව් 22:1-22

මතෙව් 22:1-22 SCV

යේසුස්වහන්සේ යළිත් උපමාවලින් ඔවුනට කතා කරමින්, “ස්වර්ග රාජ්‍යය, තම පුත්‍රයා සඳහා මංගල භෝජනයක් පැවැත් වූ රජකුට සමාන කළ හැකි ය. මංගල සාදයට ඇරියුම් කර තිබූ අය කැඳවමින් ඔහු තම සේවකයින් පිටත් කර යැවී ය. එහෙත් ඔවුහු එන්නට නො කැමති වූහ. “එවිට ඔහු තවත් සේවකයින් යවමින්, ‘ඔවුන්ට මෙසේ කියා යැවී ය: ඔන්න, මගේ භෝජන සංග්‍රහය සූදානම්; මගේ ගවයින් හා තර කළ මගේ සතුන් මරා, සියල්ල සූදානම්; මංගල සාදයට එන්න.’ “එහෙත් ඔවුහු ඒ නො තකා, කෙනෙක් තම ගොවිපළටත්, කෙනෙක් තම ව්‍යාපාරයටත් ගිය අතර, සෙසු අය ඔහුගේ සේවකයින් අල්ලා, නිග්‍රහ කොට, ඔවුන් මරා දැමූහ. රජු කුපිත විය. ඔහු තම හමුදාව යවා, ඒ මිනී මරුවන් විනාශ කරවා, ඔවුන්ගේ නගරය ද ගිනි තැබ්බවී ය. “ඉන්පසු තම සේවකයන් ඇමතූ ඔහු, ‘මංගල සාදය සූදානම්, එහෙත් ආරාධනා ලැබූ අය ඊට සුදුසු නැත. එබැවින් මං මාවත්වලට ගොස්, ඔබට හමුවන තරම් දෙනා සාදයට කැඳවන්නැ’ යි කී ය. සේවකයෝ මං මාවත්වලට ගියෝ, හොඳ හෝ නරක හෝ තමනට හමු වූ සියල්ලන් රැස් කළෝ ය. මෙසේ මංගල සාද ශාලාව අමුත්තන්ගෙන් පිරී ගියේ ය. “එහෙත් රජු, අමුත්තන් දකින්නට පැමිණි කල, මංගල උත්සව ඇඳුමින් තොර මිනිසකු සිටිනු දුටුවේ ය. රජු ඔහු අමතමින්, ‘මිත්‍රය, මංගල ඇඳුම් නොමැතිව ඔබ මෙතැනට ආවේ කොහොම දැ?’ යි ඇසී ය. මිනිසාට කතා නැති විය. “එවිට රජු තම සේවකයින්ට කතා කොට, ‘මොහුගේ අත්, පා බැඳ, හැඬීමත්, දත්මිටි කෑමත් ඇති පිටත අන්ධකාරයෙහි හෙළනු’ යි කී ය. “මන්ද ඇරියුම් ලබන්නෝ බොහෝ ය; එහෙත් තෝරාගනු ලබන්නෝ ස්වල්පයැ” යි පැවසූ සේක. ඉන්පසු පරිසිවරු ඉවත් ව ගොස්, කට වචනයෙන් උන්වහන්සේ හසුකර ගැනීමට සැලසුම් කළහ. ඔවුහු මෙසේ කියමින්, තම ගෝලයින් සමඟ හෙරෝදිවරුන් උන්වහන්සේ වෙත පිටත් කළහ. “ගුරුතුමනි, ඔබතුමා සත්‍යවාදී වූ, කිසිවකුගේ බලපෑමකට යටත් නො වන කෙනකු වග අප දන්නවා; මන්ද ඔබ මිනිසුන්ගේ තරාතිරම් නො බලන, දෙවියන්වහන්සේගේ මාර්ගය සත්‍යයට එකඟ ව උගන්වන බවත් අපි දනිමු. එනිසා මේ ගැන ඔබගේ අදහස් අපට කියන්න; සීසර්ට බදු ගෙවීම නිත්‍යානුකූල ද? නැද්දැ?” යි ඇසූහ. එහෙත් ඔවුන්ගේ දුෂ්ට අදහස දැනගත් යේසුස්වහන්සේ, “වංචනිකයිනි, නුඹලා මා පරීක්ෂා කරන්නේ මන්ද? බදු ගෙවීමට ගන්නා කාසිය මට පෙන්වන්නැ” යි කී සේක. ඔවුහු ඩිනාරියක කාසියක් උන්වහන්සේ වෙත ගෙනාහ. එවිට උන්වහන්සේ, “මේ කවරකුගේ රූපය ද? කවරකුගේ සටහන දැ?” යි ඇසූ සේක. “සීසර්ගේ යැ” යි ඔවුහු කීහ. උන්වහන්සේ එවිට, “සීසර්ගේ දේ සීසර්ටත්, දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටත් දෙන්නැ” යි ඔවුන්ට කී සේක. ඒ ඇසූ කල, ඔවුහු මවිත වූහ. එබැවින් ඔවුහු උන්වහන්සේ අත්හැර, ඉවත ගියහ.