මතෙව් 17:9-20
මතෙව් 17:9-20 SCV
ඔවුන් කන්දෙන් බැස එද්දී, යේසුස්වහන්සේ ඔවුන්ට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රයාණන් මළවුන්ගෙන් නැගිටින තෙක් ඔවුන් දුටු දෑ කිසිවකුටත් නො කියන්නැ” යි අණ කළ සේක. එවිට ගෝලයෝ ප්‍රශ්න කරමින්, “එසේ නම්, පළමු කොට එලියා පැමිණිය යුතු යැයි දහම් පඬිවරුන් කියන්නේ මන්දැ?” යි ඇසූහ. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “සැබවින් ම එලියා එන්නේ ය; හැම දේ ම ඔහු නැවත පිහිටවනු ඇත. එහෙත් මා ඔබට කියන්නේ, එලියා දැනටමත් පැමිණ ඇති බවයි. ඔවුහු ඔහු හැඳින ගැනීමට අපොහොසත් ව, තමන්ට රිසි හැම දෙයක් ම ඔහුට කළහ. මනුෂ්‍ය පුත්‍රයා ද එලෙස ම ඔවුන් අතින් වධ විඳිනු ඇතැ” යි කී සේක. උන්වහන්සේ එසේ පැවසුවේ, යොහන් බව්තීස්ත ගැන බැව් උන්වහන්සේගේ ගෝලයෝ එවිට වටහා ගත්හ. ඔවුන් යළි ජන සමූහයා වෙත පැමිණි කල, එක් මිනිසෙක් උන්වහන්සේ වෙත අවුත්, උන්වහන්සේ අබියස දණින් වැටී, “ස්වාමිනි, මගේ පුත්‍රයාට දයාව පෑ මැනව. ඔහු අපස්මාරයෙන් පෙළෙමින් දැඩි සේ පීඩා විඳියි. ඔහු නිතර ගින්නේ ද වතුරේ ද වැටෙයි. ඔබගේ ගෝලයන් වෙත ඔහු ගෙනාවෙමි. එහෙත් ඔහු සුව කරන්නට ඔවුනට නො හැකි විණැ” යි පැවසී ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙන සේක්, “අහෝ! ඇදහිලි හීන හිතුවක්කාර පරම්පරාව, තව කොතෙක් කලක් මා ඔබ සමඟ සිටින්න ද? තව කොතෙක් කලක් ඔබ ගැන ඉවසා සිටින්න ද? ඔහු මා ළඟට මෙහි ගෙනෙන්නැ” යි කී සේක. යේසුස්වහන්සේ ඔහුට තරවටු කළෙන්, යක්ෂාත්මය ඔහුගෙන් පිටතට ආයේ ය. එකෙණෙහි ම දරුවා සුව කරනු ලැබිණ. පසුව ගෝලයෝ, පෞද්ගලික ව යේසුස්වහන්සේ වෙත අවුත්, “අපට ඌ දුරු කළ නො හැකි වූයේ ඇයි දැ?” යි ඇසූහ. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඒ ඔබේ ඇදහිල්ල මද නිසයි. සැබවින් ම මා ඔබට කියන්නේ, අබ ඇටයක් තරම් වත් ඇදහිල්ලක් ඔබට ඇත්නම්, මේ කන්දට කතා කොට, ‘මෙතැනින් ඉවත් ව අතැනට යනු’ යි ඊට ඔබට කියත හැකියි. එවිට එය සිදු වන්නේ ය; ඔබට කළ නො හැකි කිසිවක් නැත.

![[Uniqueness of Christ] Jesus' Unique Relationship මතෙව් 17:9-20 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F34125%2F1440x810.jpg&w=3840&q=75)
![[Uniqueness of Christ] Jesus’ Unique Record මතෙව් 17:9-20 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F34612%2F1440x810.jpg&w=3840&q=75)


