මතෙව් 15:21-39
මතෙව් 15:21-39 SCV
යේසුස්වහන්සේ එතැනින් පිටත් ව, තීර් හා සීදොන් පෙදෙසට ගිය සේක. එවිට මෙන්න! ඒ පළාතේ කානානීය ස්ත්‍රියක් හඬමින්, උන්වහන්සේ වෙත අවුත්, “ස්වාමිනි, දාවිත්ගේ පුත්‍රයාණෙනි, මට අනුකම්පා කරන්න; මගේ දියණිය යක්ෂාත්මාවේශයෙන් දැඩි ව පීඩා විඳිතැ” යි කීවා ය. එහෙත් උන්වහන්සේ වචනයකින්වත් පිළිතුරු දුන්නේ නැත. එවිට උන්වහන්සේගේ ගෝලයෝ අවුත්, “මැය හඬා වැටෙමින්, අප පස්සේ එන නිසා, ඇය පිටත් කර හරින්නැ” යි උදක් ම ඉල්ලූහ. උන්වහන්සේ උත්තර දෙමින්, “මා එවනු ලැබ ඇත්තේ ඉශ්රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙත පමණි” යි කී සේක. එහෙත් පෙරට ආ ඈ උන්වහන්සේ අබියස දණින් වැටී, “ස්වාමිනි, පිහිට වුව මැනවි!” යි කීවා ය. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “දරුවන්ගේ රොටි ගෙන, බල්ලන්ට දැමීම යුතු නැතැ” යි කී සේක. එවිට ඈ, “එසේය ස්වාමිනි, බල්ලෝ වුවත් තම හාම්පුතුන්ගේ මේසයෙන් වැටෙන අහර කැබලි අවුළා කති” යි කීවා ය. එකල ඇය ඇමතූ යේසුස්වහන්සේ, “ස්ත්‍රිය, ඔබගේ ඇදහිල්ල ඉමහත් ය. ඔබට ඕනෑ කළ ලෙස ඔබට සිදු වේවා!” යි පැවසූ සේක. ඇගේ දියණිය ඒ මොහොතේ ම සුවය ලද්දී ය. යේසුස්වහන්සේ එතැනින් නික්ම ගලීල මුහුද පසෙකින් ගමන් ගත් සේක. පසුව උන්වහන්සේ කන්දට නැග, එහි වාඩිගත් සේක. එකල කොරුන්, අන්ධයින්, අබ්බගාතයින්, ගොළුවන් හා වෙනත් බොහෝ රෝගීන් ද ගෙන උන්වහන්සේ වෙත ආ මහ සමූහයක්, ඒ රෝගීන් උන්වහන්සේගේ පාමුලට ගෙනාහ. උන්වහන්සේ ඔවුන් සුව කළ සේක. ගොළුවන් කතා කරනු ද අබ්බගාතයින් සුව වී සිටිනු ද කොරු ඇවිදිනු ද අන්ධයනට පෙනීම ලැබෙනු ද දුටු ජනයා විස්මිත ව, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේට ප්‍රශංසා කළහ. යේසුස්වහන්සේ තම ගෝලයින් තමන් වෙත කැඳවා, “මේ සමූහයා ගැන මම අනුකම්පා ඇත්තෙමි. දැන් දවස් තුනක් මා සමඟ සිටින ඔවුන්ට කෑමට කිසිවක් නැහැ. කුස ගින්නේ ම ඔවුන් පිටත් කර හරින්නට මා කැමති නැහැ. ගියහොත් ඔවුන් අතර මගදී ක්ලාන්ත වේවි” යි කී සේක. ගෝලයෝ පිළිතුරු දෙමින්, “මෙතරම් සමූහයකට කන්නට දෙන්න තරම් රොටි මේ පාළු පෙදෙසින් අප කොහොම සොයන්න දැ?” යි ඇසූහ. “ඔබ ළඟ කොපමණ රොටි තිබේ දැ?” යි යේසුස්වහන්සේ ඇසූ සේක. “හතකි” යි පැවසූ ඔවුහු, “මසුන් ස්වල්ප දෙනකුත් තියෙනවා” යි කීහ. ජන සමූහයාට බිම ඉඳගන්නා ලෙස අණ කළ උන්වහන්සේ, ඉන්පසු රොටි හත හා මත්ස්‍යයින් ගෙන, ස්තුති දී, ඒවා කඩා ගෝලයින් අතට දුන් සේක. ගෝලයෝ ඒවා සමූහයාට දුන්හ. ඔවුහු සියල්ලෝ අනුභව කොට, සෑහීමට පැමිණියහ. ඉතිරි වූ කැබලිවලින් ඔවුහු ලොකු කූඩ හතක් පුරවා ගත්හ. ස්ත්‍රීන් හා දරුවන් හැර, කෑ අය ගණනින් පිරිමින් පමණක් හාර දහසකි. සමූහයා පිටත් කර යැවූ උන්වහන්සේ ඔරුවේ නැගී මගදන් පළාත වෙත ගිය සේක.





