YouVersion Logo
Search Icon

මතෙව් 14:13-36

මතෙව් 14:13-36 SCV

ඒ ඇසූ කල, යේසුස්වහන්සේ එම පෙදෙස හැර, ඔරුවක නැග, තනි ව හුදකලා තැනකට ගිය සේක. එහෙත් ජනයා ඒ අසා, නගරවල සිට ගොඩ බිමින් උන්වහන්සේ පසු පස ගියහ. උන්වහන්සේ වෙරළට ගොඩ බැස්ස කල, විශාල ජනකායක් දුටු සේක්, ඔවුනට අනුකම්පා කර, ඔවුන්ගේ රෝගීන් සුව කළ සේක. සවස් වූ කල, උන්වහන්සේ වෙත ආ ගෝලයෝ, “මේක පාළු පෙදෙසක්; දැනටත් හොඳට ම පමා වෙලා. එනිසා අසල ගම්වලට ගොස්, ඔවුන්ට ආහාර මිලට ගන්නට හැකි වන පිණිස ජනයා පිටත් කර හරින්නැ” යි කීහ. එහෙත් යේසුස්වහන්සේ, “ඔවුන් යන්න ඕනෑ නැහැ. ඔබ ම ඔවුන්ට කෑමට යමක් සපයා දෙන්නැ” යි පැවසූ සේක. “අප ළඟ මෙහි ඇත්තේ රොටි පහකුත් මසුන් දෙදෙනකුත් පමණි” යි ඔවුහු පිළිතුරු දුන්හ. “ඒවා මා ළඟට මෙහෙ ගෙනෙන්නැ” යි උන්වහන්සේ පැවසූ සේක. ඉන්පසු තණ නිල්ල මත හිඳ ගන්නා ලෙස සමූහයාට නියෝග කළ උන්වහන්සේ, රොටි පහ සහ මසුන් දෙදෙනා ද ගෙන, ස්වර්ගය දෙස ඉහළ බලා, ආශිර්වාදය පවසා, ඉන්පසු රොටි කඩා, ගෝලයිනට දුන් සේක. ගෝලයෝ ඒවා සමූහයාට බෙදා දුන්හ. සැවොම ඒවා කෑමෙන් තෘප්තියට පැමිණි පසු, ඔවුහු ඉතිරි වූ කැබලිවලින් කූඩ දොළහක් එකතු කර ගත්හ. ස්ත්‍රීන් හා දරුවන් හැර රොටි කෑ අය ගණනින් පිරිමි පන්දහසක් පමණ වූහ. එකෙණෙහි ම, උන්වහන්සේ තමන් විසින් සමූහයා පිටත් කර හරින තෙක්, තම ගෝලයින් ඔරුවේ නංවා උන්වහන්සේට පෙරටුව එගොඩ යන්නට සැලසූ සේක. සමූහයා පිටත යැවූ පසු උන්වහන්සේ යාච්ඤා කරන පිණිස, තනි ව කන්දට නැගුණු සේක. සවස් වූ කල උන්වහන්සේ එහි සිටියේ තනි ව ය. මේ අතර ගොඩ බිමට ඈතින් වූ ඔරුවට රළ රැළි පහර දෙන්නට වූයේ, සුළඟ ඔවුන්ට එරෙහිව හැමූ බැවිනි. රාත්‍රි හතර වන යාමයේ උන්වහන්සේ ඔවුන් වෙත මුහුද මත ඇවිදගෙන ආ සේක. එහෙත් උන්වහන්සේ මුහුද මත ඇවිදිනු දුටු ගෝලයෝ බියෙන් වෙළී, “අවතාරයක් ය” කියමින් බියෙන් කෑ ගැසූහ. එහෙත් එකෙණෙහි ම ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “ධෛර්යවත් වන්න! මේ මමයි. බය වන්න එපා” යි කී සේක. එවිට පේතෘස් පිළිතුරු දෙමින්, “ස්වාමිනි, ඒ ඔබ නම්, දිය මත ඇවිද ඔබ වෙත එන්නට මට අණ දෙන්නැ” යි කීවේ ය. උන්වහන්සේ, “එන්නැ” යි කී සේක. එවිට පේතෘස් ඔරුවෙන් පිටතට අවුත්, යේසුස්වහන්සේ වෙත දිය මත ඇවිද ගියේ ය. එහෙත් සුළඟ දැක, ඉන් බියපත් වූ ඔහු ගිලෙන්නට වී, “ස්වාමිනි, මා ගලවාගත මැනව” යි මොර ගැසී ය. එසැණෙහි තම අත දිගු කොට, ඔහු අල්ලා ගත් යේසුස්වහන්සේ, “ඇදහිලි මද තැනැත්ත, නුඹ සැක කළේ මන්දැ?” යි ඇසූ සේක. ඔවුන් ඔරුවට ගොඩ වූ කල, සුළඟ නැවතිණි. ඔරුව තුළ සිටි අය, “සැබවින් ම ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ය” කියමින් උන්වහන්සේට නමස්කාර කළහ. මෙතෙර වූ ඔවුහු, ගෙන්නසරෙත් බිමට ගොඩ බටහ. එපෙදෙසේ මිනිස්සු යේසුස්වහන්සේ හැඳින ගත්හ. ඔවුහු පළාත මුළුල්ලේ පණිවුඩ යවා, රෝගී වූ සියල්ලන් උන්වහන්සේ වෙත ගෙන ඇවිත්, උන්වහන්සේගේ සළුවේ වාටියට පමණක්වත් අත ගසන්නට ඔවුනට ඉඩ දෙන මෙන් අයැද සිටියහ. උන්වහන්සේට අත ගැසූ සැවොම සුවය ලදහ.

Free Reading Plans and Devotionals related to මතෙව් 14:13-36