මතෙව් 13:33-58
මතෙව් 13:33-58 SCV
උන්වහන්සේ ඔවුනට තවත් උපමාවක් පවසමින්, “ස්වර්ග රාජ්‍යය, නැළි තුනක පිටි මුළුමනින් පිපෙන, ස්ත්‍රියක විසින් ඊට මුසු කරන ලද මුහුන්වලට සමාන යැ” යි පැවසූ සේක. යේසුස්වහන්සේ, ජනයාට මේ හැම දේ පැවසුවේ උපමා මගිනි; උපමාවකින් තොර ව උන්වහන්සේ ඔවුනට කිසිවක් ම පැවසුවේ නැත. මෙසේ වූයේ දිවැසිවරයා මගින් පැවසුණු දෑ ඉටු වන පිණිස ය: “මම උපමාවලින් මගේ මුව විවර කරමි, ලෝකයේ අත්තිවාරම් ලූ තැන් පටන් සැඟවී තිබූ දෑ පවසන්නෙමි.” ඉන්පසු උන්වහන්සේ සමූහයාගෙන් වෙන් ව නිවසට ගිය සේක. උන්වහන්සේ වෙත පැමිණි උන්වහන්සේගේ ගෝලයෝ, “කුඹුරේ කිරිඳි උපමාව අපට පහදා දෙන්නැ” යි කීහ. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “හොඳ බීජ වපුළ තැනැත්තා මනුෂ්‍ය පුත්‍රයා ය. කුඹුර මේ ලෝකයයි. හොඳ බීජ රාජ්‍යයේ පුත්‍රයෝ ය. කිරිඳි නපුරාගේ පුත්‍රයෝයි. ඒවා වපුළ සතුරා, යක්ෂයායි. අස්වනු කාලය යුග අන්තයයි. අස්වනු නෙළන්නෝ දේව දූතයොයි. “කිරිඳි උදුරනු ලැබ, ගින්නෙහි දැවූ සේ ම, යුග අන්තයේදීත් සිදු වනු ඇත. මනුෂ්‍ය පුත්‍රයා තම දේව දූතයින් පිටත් කර යැවූ කල, ඔවුන් පවට හේතු වන හැම දේ හා නොපනත්කම් කරන සියල්ලන් උන්වහන්සේගේ රාජ්‍යයෙන් උදුරා, ගිනි ඇවිළෙන උදුනෙහි හෙළනු ඇත. එහිදී වැලපීමත්, දත්මිටි කෑමත් ඇති වෙයි. එකල ධර්මිෂ්ඨයින් ඔවුන්ගේ පියාණන්වහන්සේගේ රාජ්‍යයෙහි හිරු මෙන් බබළනු ඇත. කන් ඇත්තා අසත්වා! “ස්වර්ග රාජ්‍යය, කෙතක සඟවා තිබූ නිධානයකට සමාන ය. මිනිසකුට එය හමු වූ කල, ඔහු එය යළි සඟවා, සොම්නසින් පිටත් ව ගොස්, තමන් සතු හැම දේ විකුණා ඒ කෙත මිලට ගනී. “තවද ස්වර්ග රාජ්‍යය, අගනා මුතු සොයා යන වෙළෙන්දකුට සමාන ය. ඉතා අගනා මුතුවක් හමු වූ කල, ඔහු ගොස්, තමන් සතු හැම දේ විකුණා, එය මිල දී ගත්තේ ය. “තවද ස්වර්ග රාජ්‍යය, මුහුදේ හෙළන ලදුව හැම වර්ගයක ම මසුන් හසු වූ දැලකට සමාන ය. එය පිරී ගිය කල, මිනිස්සු එය වෙරළට ඇද, පසෙකින් හිඳ, හොඳ මසුන් වට්ටිවලට තෝරා දමමින්, නරක එවුන් ඉවතට වීසි කළහ. යුග අන්තයේදී සිදු වන්නේ ද එයයි. දේව දූතයින් අවුත්, ධර්මිෂ්ඨයින් වෙතින් දුෂ්ටයින් වෙන් කොට, ගිනි ඇවිළෙන උදුනෙහි ඔවුන් හෙළනු ඇත. එහිදී වැලපීමත්, දත්මිටි කෑමත් ඇති වෙයි. “මේ සියල්ල ඔබ තේරුම් ගත්තා දැ?” යි ඇසූ සේක. “එසේ යැ” යි ඔවුහු පිළිතුරු දුන්හ. “එබැවින් ස්වර්ග රාජ්‍යය ගැන ගෝලයකු බවට පත් වන දහම් පඬිවර හැම කෙනකු ම තම වස්තු ගබඩාවෙන් පැරණි දෑ මෙන් ම අලුත් දෑ පිටතට ගෙනෙන ගෘහ මූලිකයකුට සමාන යැ” යි පැවසූ සේක. යේසුස්වහන්සේ මෙම උපමා පවසා නිම වූ පසු එතැනින් නික්ම, තම ගම් පෙදෙසට පැමිණ, ඔවුන්ගේ සිනගෝගයට ගොස්, ඔවුන්ට උගන්වන්නට වූ සේක. ඔවුහු විස්මිත ව, “කොහෙන් ද මේ මිනිසාට මේ ප්‍රඥාව? මේ බලවත් ක්‍රියා? මොහු වඩුවාගේ පුතා නො වේ ද? මොහුගේ මව මරියා නො වේ ද? යාකොබ්, යෝසෙප්, සීමොන් හා යූදස් මොහුගේ සහෝදරයින් නො වේ ද? මොහුගේ සහෝදරියන් සැවොමත් අප අතරේ ම නො වෙත් ද? එසේ නම් මේ සියල්ල මොහුට ලැබුණේ කොතැනින් දැ?” යි කීහ. මෙසේ ඔවුහු උන්වහන්සේට එරෙහි වූහ. එහෙත් යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “දිවැසිවරයකුට ඔහුගේ ම ගමෙන්, ඔහුගේ ම ගෘහ වාසීන්ගෙන් හැර, ගෞරවය නො ලැබී යන්නේ නැතැ” යි කී සේක. ඔවුන්ගේ ඇදහිල්ලේ හීනතාවය නිසා, එහිදී උන්වහන්සේ ප්‍රබල ක්‍රියා බොහොමයක් සිදු නො කළ සේක.





