YouVersion Logo
Search Icon

මතෙව් 12:22-45

මතෙව් 12:22-45 SCV

ඉන්පසු යක්ෂාත්මයක් වැහුණු, අන්ධ වූත්, ගොළු වූත් මිනිහෙක් උන්වහන්සේ වෙත ගෙනෙන ලදී. කතා කරන්නටත්, දකින්නටත් හැකි වන සේ උන්වහන්සේ ඔහු සුව කළ සේක. සියලු ජනයා විස්මිත වී, “මේ දාවිත්ගේ පුත්‍රයාණන්වත් දෝ?” යි පැවසූහ. එහෙත් පරිසිවරුනට එය සැල වූ කල, “මොහු යක්ෂාත්මයන් දුරු කරන්නේ යක්ෂාධිපති බෙල්සෙබුල් මගින් පමණි” යි කීහ. උන්වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැන, ඔවුන් අමතමින්, “එයට ම එරෙහිව බෙදුනු හැම රාජ්‍යයක් බිඳ වැටෙයි. එයට ම එරෙහිව බෙදුනු නගරයක් හෝ ගෙදරක් හෝ පවතින්නේ නැත. සාතන් විසින් සාතන් දුරු කරනු ලබන්නේ නම්, ඔහු තමන්ට ම එරෙහිව බෙදී සිටියි. එසේ නම් ඔහුගේ රාජ්‍යය පවතින්නේ කෙසේ ද? මා යක්ෂාත්ම දුරු කරන්නේ බෙල්සෙබුල් මගින් නම්, ඔබේ පුතුන් උන් දුරු කරන්නේ, කවරකු මගින් ද? එබැවින්, ඔවුන් ම ඔබගේ විනිශ්චයකරුවන් ය. එනමුත් මා යක්ෂාත්මයන් දුරු කරන්නේ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මගින් නම්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔබ කෙරේ පැමිණ ඇත. “පළමු කොට බලවන්තයා බැඳ දැමුවොත් මිස, බලවතකුගේ ගෙට ඇතුළු වී, ඔහු සතු දේ පැහැර ගත හැක්කේ කවරකුට ද? ඔහු බැඳ දැමූ පසු, ඔහුගේ ගෙය කොල්ලකත හැකියි. “මා සමඟ නො වන තැනැත්තා මට විරුද්ධ ය. මා හා එක් රැස් නො කරන්නා විසුරුවා හරියි. එබැවින් මා ඔබට කියන්නේ, හැම පාපයකට හා හැම දේවාපහාසයකට මිනිසාට කමාව දෙනු ලබන බවයි; එහෙත් ආත්මයාණන්වහන්සේට එරෙහිව නගන දේවාපහාසයට කමාවක් නැත. මනුෂ්‍ය-පුත්‍රයාට එරෙහි වචනයක් පවසන කවරකුට වුව, කමා කරනු ලැබේ. එහෙත් ශුද්ධාත්මයාණන්ට එරෙහිව කතා කරන කවරකුට වුව, මේ යුගයේදීවත්, මතු පැමිණෙන යුගයේදීවත් කමා කරනු නො ලැබේ. “ගස හොඳ වූ කල, එහි පල ද හොඳ වෙයි. ගස නරක් වූ කල, එහි පල ද නරක් වේ. මන්ද ගස හැඳින ගන්නේ එහි පලවලිනි. පොළොං වංශය, දුෂ්ට වූ නුඹලා යහපත පවසන්නේ කොහොම ද? මන්ද කටින් පිට වන්නේ ඔහුගේ හදෙහි පිරී ඇති දෙයිනි. හොඳ මනුෂ්‍යයා, තමන් තුළ නිදන්ගත හොඳ දෑ ද නපුරු මිනිසා තමන් තුළ නිදන්ගත නපුරු දෑ ද පිටතට ගෙනේ. එබැවින් මා ඔබට කියන්නේ, විනිශ්චය දවසේදී ජනයාට තමන් පවසන හැම නො සැලකිලි වචනයක් ගැන ම ගණන් දීමට සිදුවන බවයි. මන්ද ඔබ නිදොස් කරන්නේ ඔබේ ම වචන මගිනි. ඔබ වරදට පත් කරන්නේ ද ඔබේ ම වචන මගිනි” යි පැවසූ සේක. එකල දහම් පඬිවරු හා ඇතැම් පරිසිවරු උන්වහන්සේ අමතමින්, “ගුරුතුමනි, ඔබගෙන් ලකුණක් දකින්නට අප කැමති” යි කීහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “දුෂ්ටවූත්, පරදාරිකවූත් පරම්පරාවක් ලකුණක් ඉල්ලයි. එහෙත් දිවැසිවර යෝනාගේ ලකුණ මිස, අන් ලකුණක් ඔවුන්ට දෙනු නො ලැබේ. මන්ද යෝනා, යෝධ මත්ස්‍යයාගේ කුස තුළ දහවල තුනක් හා රෑ තුනක් සිටි සේ ම, මනුෂ්‍ය පුත්‍රයාණන් ද පොළෝ හද ගැබෙහි දහවල තුනක් හා රෑ තුනක් සිටිනු ඇත. නිනිවයේ මිනිසුන් විනිශ්චයේදී මේ පරම්පරාව සමඟ නැගිට, මොවුන් වරදට පත් කරනු ඇත; මන්ද යෝනාගේ දේශනාවෙන් ඔවුහු පසුතැවිලි වූහ. දැන් මෙන්න! යෝනාට වඩා උතුම් කෙනෙක් මෙහි සිටී. දකුණු දිශාවේ රැජින විනිශ්චයේදී මෙම පරම්පරාව සමඟ නැගිට, මොවුන් වරදට පත් කරනු ඇත. මන්ද සාලමොන්ගේ ප්‍රඥාවට සවන් දෙන පිණිස ඈ පොළෝ කෙළවරේ සිට ආවා ය. දැන් මෙන්න! සාලමොන්ට වඩා උතුම් කෙනෙක් මෙහි සිටී. “අශුද්ධ ආත්මයක් මිනිසකුගෙන් දුරුව ගිය පසු, දිය නැති තැන්හි යමින්, නවාතැන් සොයා, එය නො ලැබුණ කල, ‘මා පිට වී ආ නිවසට ම ආපසු යමි’ යි කියයි. එසේ ආ කල, ඒ නිවස හිස් ව, අතු ගා, පවිත්‍ර කොට, නිසි පිළිවෙලකට තබා තිබෙනු දකියි. එවිට ඔහු පිටත් ව ගොස්, තමාටත් වඩා දුෂ්ට වූ තවත් යක්ෂාත්ම හත්දෙනකු සමඟ අවුත්, ඇතුළු වී, එහි පදිංචි වෙයි. එවිට ඒ මිනිසාගේ අවසන් තත්වය පළමු තත්වයටත් වඩා නරක් වෙයි. මේ දුෂ්ට පරම්පරාවේ තත්වය ද එය ම වෙතැ” යි පැවසූ සේක.

Free Reading Plans and Devotionals related to මතෙව් 12:22-45