YouVersion Logo
Search Icon

මතෙව් 11:1-11

මතෙව් 11:1-11 SCV

තම ගෝලයින් දොළොස් දෙනාට උපදෙස් දී නිම වූ පසු, යේසුස්වහන්සේ ඔවුන්ගේ නගරවල ඉගැන්වීමටත්, දේශනා කිරීමටත් නික්ම ගිය සේක. මේ අතර, ක්‍රිස්තුස්වහන්සේගේ ක්‍රියා ගැන සිරගෙදරදී ඇසූ යොහන්, තම ගෝලයින් අත අසා යවමින්, “එන්නට සිටි තැනැත්තාණන් ඔබ ද? නැතහොත් අප අන් කෙනකු බලා සිටිය යුතු දැ?” යි විමසී ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ අසන, දකින දෑ යොහන්ට ගොසින් කියන්න. අන්ධයෝ පෙනීම ලබති; කොරු ඇවිදිති; කුෂ්ඨ රෝගීහු පවිත්‍ර කෙරෙති; බිහිරි අය ඇසීම ලබති. මළාහු නැගිටුවනු ලබති. දිළිඳුනට ශුභාරංචිය ප්‍රකාශ කරනු ලැබේ. මා ගැන නො පැකිළෙන තැනැත්තා භාග්‍යවතෙකැ” යි පැවසූ සේක. ඔවුන් නික්ම යත් ම, යේසුස්වහන්සේ ජන සමූහයාට යොහන් ගැන කතා කරන්නට වී, “ඔබ පාළුකරයට පිටත් ව ගියේ කුමක් බලන්න ද? සුළඟින් සැලෙන බට ගසක් බලන්න ද? එසේ නම්, ඔබ ගියේ කුමක් බලන්න ද? සිනිඳු සේල සළු පිළි හැඳි මිනිසකු බලන්න ද? නැත, සිනිඳු සළු පිළි හැඳි අය සිටින්නේ රජ මාලිගාවලයි. එසේ නම් ඔබ ගියේ කුමක් බලන්න ද? දිවැසිවරයකු ද? ඔව්, මා ඔබට කියන්නේ, දිවැසිවරයකුටත් වඩා උතුම් කෙනකු” ය කියායි. මන්ද, “ ‘මෙන්න මගේ දූතයා ඔබට පෙරටුව යවමි. ඔබට පෙරටුව ඔබගේ මාර්ගය සකසන්නේ ඔහු යැ’ යි ලියා ඇත්තේ ඔහු ගැන ය. “සැබවින් ම මා ඔබට කියන්නේ, ස්ත්‍රීන්ගෙන් උපන්නවුන් අතරේ යොහන් බව්තීස්තට වඩා උතුම් කෙනෙක් නො නැගුටුණු බවයි; එහෙත් ස්වර්ග රාජ්‍යයේ ඉතාම සුළු තැනැත්තා පවා ඔහුට වඩා උතුම් ය.

Free Reading Plans and Devotionals related to මතෙව් 11:1-11