මතෙව් 10:26-42
මතෙව් 10:26-42 SCV
“එබැවින් ඔවුනට බිය නො වන්න. එළිදරවු නො වන සේ සඟවන ලද කිසිවක් නැත. දැනගනු නො ලබන සේ වසන් කරන ලද කිසිවක් ද නැත. අඳුරේ මා ඔබට කියන දෑ, ආලෝකයේදී පවසන්න. ඔබේ කනට කොඳුරා කී දෑ, ගෙපියසි උඩදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න. ශරීරය නසා දමන නමුදු, ජීවාත්මය නැසිය නො හැකි අයට භය නො වන්න. එහෙත් සිරුරත්, ජීවාත්මයත් නිරයේ විනාශ කළ හැකි තැනැන්වහන්සේට භය වන්න. ගේ කුරුල්ලන් දෙදෙනකු තුට්ටුවකට විකුණනවා නො වේ ද? එහෙත් උන්ගෙන් එකකුවත් ඔබේ පියාණන්වහන්සේ නො දැන බිම වැටෙන්නේ නැත. ඔබගේ හැම හිස කෙසක් පවා ගණන් කොට ඇත. එබැවින් බය නො වන්න! ගේ කුරුල්ලන් රාශියකටත් වඩා ඔබ වටී. “මිනිසුන් ඉදිරියේ මා පිළිගන්නා හැම කෙනකු ම ස්වර්ගයේ සිටින මගේ පියාණන්වහන්සේ ඉදිරියේ මමත් පිළිගනිමි. එහෙත් මිනිසුන් ඉදිරියේ මා ප්‍රතික්ෂේප කරන කවරකු වුවත් ස්වර්ගයේ සිටින මගේ පියාණන්වහන්සේ ඉදිරියේ මමත් ප්‍රතික්ෂේප කරමි. “පොළොව පිටට සාමය ගෙනෙන්නට මා ආවා යයි නො සිතන්න. මා ආවේ කඩුවක් මිස සාමය ගෙනෙන්නට නො වේ; මන්ද මා ආවේ, “ ‘මිනිසකු තම පියාට එරෙහිව ද, දුවක ඇගේ ම මවට එරෙහිව ද, ලේලියක ඇගේ නැන්දණියට එරෙහිව ද හරවන්නටයි. මිනිසකුගේ එදිරිවාදීන් වන්නේ තමන්ගේ ම නිවැසියන් ය.’ “තම පියාට හෝ මවට හෝ මට වඩා ප්‍රේම කරන කවුරුන් වුවත්, මට සුදුසු නො වේ; තම පුත්‍රයාට හෝ දියණියට හෝ මට වඩා ප්‍රේම කරන කවුරුන් වුවත්, මට සුදුසු නො වේ. තමාගේ කුරුසිය ගෙන, මා අනුව නො එන කවුරුන් වුවත්, මට සුදුසු නො වේ. තම ජීවිතය රැක ගන්නට සොයන්නා, එය අහිමි කර ගනී; මා නිසා තම ජීවිතය අහිමි කරගන්නාට එය සම්භ වේ. “ඔබ පිළිගන්නා මා පිළිගනියි. මා පිළිගන්නා මා එවූ තැනැන්වහන්සේ පිළිගනියි. දිවැසිවරයකු, දිවැසිවරයකු නිසා පිළිගන්නා, දිවැසිවරයකුගේ ඉටු විපාක ලබයි. ධර්මිෂ්ඨයකු, ධර්මිෂ්ඨයකු නිසා පිළිගන්නා, ධර්මිෂ්ඨයකුගේ ඉටු විපාක ලබයි. මගේ ගෝලයකු නිසා ම මොවුන්ගෙන් ඉතා සුළු කෙනකුට වුව, ඇල් වතුර කෝප්පයක් දෙන කෙනකු නිසැකයෙන් ම එහි පල විපාක ඔහුට නැති නො වන බව සැබවින් ම මම ඔබට කියමි.”





