YouVersion Logo
Search Icon

මතෙව් 10:1-8

මතෙව් 10:1-8 SCV

උන්වහන්සේ තම ගෝලයින් දොළොස් දෙනා තමන් වෙත කැඳවා, අපවිත්‍ර ආත්ම දුරු කිරීමටත්, සියලු රෝග හා සියලු ආබාධ සුව කිරීමටත් ඔවුනට බලය පැවරූ සේක. අපෝස්තුලුවරු දොළොස් දෙනාගේ නාම මෙසේ ය: පළමුවෙන්, පේතෘස් නමින් හැඳින්වුණු සීමොන් හා ඔහුගේ සහෝදර අන්දෘ; සෙබදීගේ පුත්‍ර යාකොබ් හා ඔහුගේ සහෝදර යොහන්; පිලිප් හා බර්තොලමෙව්; තෝමස් හා බදු අය කරන්නා වූ මතෙව්; අල්පෙවුස්ගේ පුත්‍ර යාකොබ් හා තද්දෙවුස්; ජ්වලිතයා යයි නම් ලත් සීමොන් හා උන්වහන්සේ පාවා දුන් යූදස් ඉස්කාරියොත් ය. යේසුස්වහන්සේ එම දොළොස් දෙනාට මෙසේ උපදෙස් දෙමින්, ඔවුන් පිටත් කර හැරිය සේක: “අන්‍ය-ජාතීන් අතර කිසි තැනකට හෝ සමාරියයන්ගේ කිසි නගරයකට ඇතුළු නො වී, ඉශ්‍රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙතට ම යන්න. ගොසින්, ‘ස්වර්ග රාජ්‍යය ළං වී ඇත’ කියා ප්‍රකාශ කරන්න. රෝගීන් සුව කරන්න; මළවුන් නැගිටුවන්න. කුෂ්ඨ රෝගීන් පවිත්‍ර කරන්න; යක්ෂාත්මයින් දුරු කරන්න. ඔබ ලද්දේ නොමිලයේයි; නොමිලේ ම දෙන්න.