YouVersion Logo
Search Icon

ලූක් 7:18-28

ලූක් 7:18-28 SCV

යොහන්ගේ ගෝලයෝ මේ සියලු විස්තර යොහන්ට දැන්වූහ. එකල තම ගෝලයින් දෙදෙනකු තමා වෙත කැඳවූ ඔහු, ස්වාමින්වහන්සේ වෙත ඔවුන් යවමින්, “එන්නට සිටි තැනැත්තාණන් ඔබ ද? නැතහොත් වෙනත් කෙනකු ගැන අප බලා සිටිය යුතු දැ?” යි අසා යැවී ය. ඒ මිනිස්සු උන්වහන්සේ වෙත අවුත්, “ ‘එන්නට සිටි තැනැත්තාණන් ඔබ ද? නැතහොත් වෙනත් කෙනකු ගැන අප බලා සිටිය යුතු දැ?’ යි ඔබගෙන් අසන්නට යොහන් බව්තීස්ත අප එවී යැ” යි කීහ. ඒ පැයේදී ම උන්වහන්සේ රෝග හා ව්‍යාධි තිබූ බොහෝ දෙනකු ද දුෂ්ටාත්ම ද සුව කර, අන්ධ ව සිටි බොහෝ දෙනකුට පෙනීම දුන් සේක. ඉන්පසු ඔවුන් ඇමතූ උන්වහන්සේ, “දැන් ආපසු ගොස්, ඔබ අසන, දකින දෑ යොහන්ට ගොසින් කියන්න. අන්ධයෝ පෙනීම ලබති; කොරු ඇවිදිති; කුෂ්ඨ රෝගීහු පවිත්‍ර කෙරෙති; බිහිරි අය ඇසීම ලබති. මළාහු නැගිටුවනු ලබති. දිළිඳුනට ශුභාරංචිය ප්‍රකාශ කරනු ලැබේ. මා ගැන නො පැකිළෙන තැනැත්තා භාග්‍යවතෙකැ” යි පැවසූ සේක. යොහන්ගේ පණිවුඩකරුවන් නික්ම ගිය පසු, රැස් ව සිටි ජන සමූහයාට යොහන් ගැන කතාව පටන් ගත් යේසුස්වහන්සේ, “ඔබ පාළුකරයට පිටත් ව ගියේ කුමක් බලන්න ද? සුළඟින් සැලෙන බට ගසක් බලන්න ද? එසේ නම්, ඔබ ගියේ කුමක් බලන්න ද? සිනිඳු සේල සළු පිළි හැඳි මිනිසකු ද? බලන්න, අගනා සළු පිළි හැඳ, සුඛ විහරණයෙන් දිවි ගෙවන අය සිටින්නේ රජ මාලිගාවලයි. එසේ නම් ඔබ ගියේ කුමක් බලන්න ද? දිවැසිවරයකු ද? ඔව්, මා ඔබට කියන්නේ, දිවැසිවරයකුටත් වඩා උතුම් කෙනකු ය කියායි. මෙසේ ලියා තියෙන්නේ ඔහු ගැනයි: “ ‘මෙන්න මම මගේ දූතයා ඔබට පෙරටුව යවමි. ඔබ ඉදිරියේ ඔහු ඔබේ පෙරමග සකසනු ඇත.’ මා ඔබට කියන්නේ, ස්ත්‍රීන්ගෙන් උපන් කිසිවකු යොහන්ට වඩා උතුම් නො වන බවයි; එහෙත් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ඉතාම සුළු තැනැත්තා පවා ඔහුට වඩා උතුම් ය.”

Free Reading Plans and Devotionals related to ලූක් 7:18-28