ලූක් 20:1-9
ලූක් 20:1-9 SCV
දිනක් යේසුස්වහන්සේ දේව මාලිගයේ ජනයාට උගන්වමින් හා ශුභාරංචිය දේශනා කරමින් සිටියදී, නායක පූජකවරු හා දහම් පඬිවරු වැඩිහිටියන් සමඟ පැමිණ, උන්වහන්සේට කතා කොට, “ඔබ මේ දේවල් කරන්නේ කවර අධිකාරි බලයකින් ද? ඔබට මේ බලය දුන්නේ කවුරුන්දැයි අපට කියන්නැ” යි කීහ. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මමත් ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්; මට කියන්න, යොහන්ගේ බව්තීස්මය ස්වර්ගයෙන් ද? නැති නම් මිනිසුන්ගෙන් දැ?” යි ඇසූ සේක. ඔවුහු තම තමන් අතරේ සාකච්ඡා කරමින්, “ ‘ස්වර්ගයෙනි’ යි අප කීවොත්, ‘ඔබ යොහන් විශ්වාස නො කළේ මන්දැ?’ යි ඔහු අසාවි; ‘මිනිසුන්ගෙනි’ යි කීවොත් මුළු ජනතාව අප මැරෙන තුරු ගල් ගසාවි; මන්ද යොහන් දිවැසිවරයකු බවට ජනතාව ඒත්තු ගෙන ඇතැ” යි කීහ. එබැවින් ඔවුහු පිළිතුරු දෙමින්, “එය කොතැනින්දැයි අප දන්නේ නැතැ” යි කීහ. යේසුස්වහන්සේ ද පිළිතුරු දෙමින්, “මා මේ දේවල් කරන්නේ කවර අධිකාරි බලයක් පිටදැයි මාත් ඔබට කියන්නේ නැතැ” යි පැවසූ සේක. උන්වහන්සේ ජනයාට මෙම උපමා කතාව කියන්නට වන් සේක: “මිනිසෙක් මිදි වත්තක් වවා, ගොවීන්ට බදු දී, දිගු කලකට පිට රටකට ගියේ ය.





