ලූක් 2:22-32
ලූක් 2:22-32 SCV
මෝසෙස්ගේ ව්‍යවස්ථාවට අනුව, ඔවුන්ගේ පවිත්‍ර වීමේ පිළිවෙත් සඳහා කාලය සම්පූර්ණ වූ කල, දරුවා ස්වාමින්වහන්සේට පිළිගැන්වීමට යෝසෙප් හා මරියා ඔහු යෙරුසලමට ගෙන ආවේ, “හැම කුලුඳුල් පිරිමි දරුවකු ම ස්වාමින්වහන්සේට ශුද්ධ ය කියා හැඳින්විය යුතු යැ” යි ලියවුණු ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව පරිදි හා ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාවේ සඳහන් ලෙස, “කොබෙයි ජෝඩුවක් හෝ පරෙවි පැටවුන් දෙදෙනකු” යාග කර පූජා කිරීමට ය. ඉශ්‍රායෙල්හි සැනසීම අපේක්ෂාවෙන් සිටි සිමියොන් නම් වූ ධර්මිෂ්ඨ, භක්තිවන්ත මනුෂ්‍යයෙක් යෙරුසලමේ සිටියේ ය. ශුද්ධාත්මයාණන්වහන්සේ ඔහු පිට වැඩ සිටි සේක. ස්වාමින්වහන්සේගේ මෙසියස්වහන්සේ දකින තුරු ඔහු මරණය දකින්නේ නැති වග, ආත්මයාණන්වහන්සේ ඔහුට හෙළි කර තිබිණි. ශුද්ධාත්මයාණන්ගේ මඟපෙන්වීමෙන්, ඔහු දේව මාලිගයට ආවේ ය. ව්‍යවස්ථාවේ චාරිත්‍රානුකූල වතාවත් සඳහා, මව් පියන් යේසුස් දරුවා ගෙන ආ කල, එතුමාණන් තම දෝතින් වඩාගත් සිමියොන් මෙසේ කියමින්, දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන්නට වන්නේ ය: “ස්වාමින්වහන්ස, ඔබගේ වචනය ලෙස, ඔබගේ දාසයාට සාමයෙන් යන්නට දැන් ඔබ ඉඩ දෙන සේක; මන්ද මගේ දෑස, ඔබගේ ගැලවීම දැකගත්තේ ය. සියලු ජනයා ඉදිරියේ, ඔබ පිළියෙල කළ මෙතුමෝ, අන් ජාතීන්ට එළිදරවු වීමට එළියකි; ඔබගේ ඉශ්‍රායෙල් ජනයාට තේජසකි.”





