ලූක් 19:39-48
ලූක් 19:39-48 SCV
සමූහයා අතර සිටි ඇතැම් පරිසිවරු යේසුස්වහන්සේ අමතා, “ගුරුතුමනි, ඔබගේ ගෝලයින්ට තරවටු කරන්නැ” යි කීහ. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මා ඔබට කියන්නම්; මොවුන් නිහඬ වුවහොත්, මේ ගල් හඬ නගාවි” යි පැවසූහ. උන්වහන්සේ යෙරුසලම වෙත ළඟා වී, නගරය දුටු කල, එය ගැන වැලපෙමින්, “අහෝ! නුඹ, නුඹට සාමය සලසන දෑ ගැන මේ දවසේදීවත් දැන සිටියා නම්! එහෙත් ඒවා නුඹේ ඇස්වලින් සඟවනු ලැබ තිබේ. නුඹේ සතුරන් නුඹට එරෙහිව ගොඩැලි නගා, නුඹ වටලා, හැම අතින් ම නුඹ කොටු කරන දවස් නුඹ පිට පැමිණෙයි. ඔවුන් නුඹේ දරුවන් සමඟ නුඹ පොළොවේ ගසනු ඇත. තවද ඔවුන් නුඹ තුළ ගලක් පිට ගලක් තියන්නට හරින්නේ නැත. මන්ද දෙවියන්වහන්සේ නුඹලා බැහැදැක්මේ කාලය නුඹලා හැඳින ගත්තේ නැතැ” යි පැවසූ සේක. ඉන්පසු උන්වහන්සේ දේව මාලිගයට ඇතුල් ව, එහි සිටි වෙළඳාම් කළවුන් පලවා හැරියේ, “ලියා තිබෙන්නේ, ‘මගේ ගෘහය යාච්ඤාවේ ගෘහයකි’ කියායි. එහෙත් නුඹලා එය ‘සොරුන්ගේ ගුහාවක්’ කර තිබේ යයි කියමිනි.” දිනපතා උන්වහන්සේ දේව මාලිගයේ ඉගැන් වූ සේක. එහෙත් නායක පූජකවරු, දහම් පඬිවරු, හා ජන ප්‍රධානීහු උන්වහන්සේ මරා දැමීමට සෙවූහ. එහෙත් එය කළ හැකි මඟක් ඔවුන්ට නො වී ය; මන්ද මුළු ජනතාව උන්වහන්සේගේ වචනවලට තදින් ඇලුම් වී සිටි බැවිනි.

![[Uniqueness of Christ] Jesus' Unique Role ලූක් 19:39-48 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F34539%2F1440x810.jpg&w=3840&q=75)



