ලූක් 10:17-24
ලූක් 10:17-24 SCV
ප්‍රීතියෙන් පෙරළා පැමිණි හැත්තෑදෙදෙන, “ස්වාමිනි, ඔබගේ නාමයෙන් යක්ෂාත්ම පවා අපට යටත් වෙනවා” යි කීහ. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “සාතන් අකුණක් සේ අහසින් ඇද වැටෙනු මා දැක්කා. ඔන්න, සර්පයින් හා ගෝනුස්සන් පාගා දමන්නටත්, සතුරාගේ ශක්තිය මුළුමනින් මැඩලන්නටත්, මා ඔබට බලය දී තියෙනවා. කිසිවකින් ඔබට අනතුරු නො වේ. කෙසේ වෙතත් ඒ යක්ෂාත්ම ඔබට යටත් වන නිසා ප්‍රීති නො වී, ඔබගේ නාම ස්වර්ගයේ ලියවී ඇති නිසා ප්‍රීති වන්නැ” යි පැවසූ සේක. ඒ අවස්ථාවේදී යේසුස්වහන්සේ ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ ප්‍රමෝදයෙන්, “ස්වර්ගයට හා පොළොවට ස්වාමියාණන් වූ පියාණන්වහන්ස, ඔබවහන්සේ ප්‍රඥාවතුන්ගෙන් හා උගතුන්ගෙන් මේ දෑ සඟවා, ළා-බාලයින්හට එළිදරවු කළ බැවින්, මම ඔබට ස්තුති කරමි. එසේය පියාණෙනි, ඔබගේ ප්‍රිය මනාපය වූයේ එයයි. “මගේ පියාණන්වහන්සේ සියලු දේ මට බාර දී ඇත. පියාණන්වහන්සේ හැර, අන් කිසිවෙක් පුත්‍රයාණන් කවුදැයි හඳුනන්නේ නැත. එසේ ම පුත්‍රයාණන් හා පුත්‍රයාණන් විසින් යමකුට පියාණන්වහන්සේ එළිදරවු කිරීමට තෝරාගත් අය ද හැර, අන් කිසිවෙක් පියාණන්වහන්සේ කවුදැයි හඳුනන්නේ නැතැ” යි පැවසූ සේක. ඉන්පසු තම ගෝලයින් වෙත හැරුණු උන්වහන්සේ පෞද්ගලික ව ඔවුන් අමතමින්, “ඔබ දකින දේ පෙනෙන ඇස් භාග්‍යවත්! මන්දැයි මා ඔබට කියන්නම්; බොහෝ දිවැසිවරුන් හා රජවරුන් ඔබ දකින දේ දකින්නට ආශා කළත්, එය දුටුවේ නැත. ඔබ අසන දේ අසන්නට ආශා කළත්, ඔවුන් එය ඇසුවේ නැතැ” යි පැවසූ සේක.





