YouVersion Logo
Search Icon

ලූක් 1:8-25

ලූක් 1:8-25 SCV

දේව මෙහෙවර සඳහා වාරය තම කාණ්ඩයට බාර වූ විටෙක, සෙකරියස් දෙවියන්වහන්සේ ඉදිරියේ පූජක මෙහෙයයේ යෙදෙමින් සිටියේ, පූජකත්වයේ චාරිත්‍රයට අනුව ස්වාමින්වහන්සේගේ මාලිගයට ඇතුල් ව, සුවඳ දුම් දැවීමේ වාරය පස ඇට දැමීමෙන් ඔහු තෝරාගනු ලැබීමෙනි. සුවඳ දුම් පුදන වේලේ සියලු බැතිමත්හු පිටත මළුවේ යාච්ඤා කරමින් වුන්හ. එවිට ස්වාමින්වහන්සේගේ දූතයෙක්, දුම් පූජාසනයට දකුණු පස සිටගෙන සිටිනු ඔහුට පෙනුණේ ය. ඔහු දුටු සෙකරියස් කලබල වී, බයින් ඇලළී ගියේ ය. එහෙත් දේව දූතයා ඔහු අමතමින්, “බය නො වන්න සෙකරියස්, ඔබගේ යාච්ඤාව අසනු ලැබ ඇත; ඔබේ භාර්යාව එලිසබෙත්, ඔබට පුතකු බිහි කර දෙනු ඇත. ඔබ ඔහුට යොහන් යන නම තැබිය යුතු ය. ඔහු නිසා ඔබට ප්‍රීතිය හා සොම්නස අත්වෙයි. ඔහුගේ උපත ගැන බොහෝ දෙනකු ප්‍රීති ප්‍රමෝද වනු ඇත. මන්ද ඔහු ස්වාමින්වහන්සේ හමුවේ විශිෂ්ටයකු වනු ඇත. ඔහු මිදි යුෂ හෝ සැර බීම පානය නො කළ යුතු ය. මව් කුස තුළ පටන් ඔහු ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වනු ඇත. ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයින්ගෙන් බොහෝ දෙනකු ඔවුන්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ වෙත යළි හරවනු ඇත. තවද පියවරුන්ගේ අවධානය දරුවන් වෙත ද අකීකරුවූවන් ධර්මිෂ්ඨ ප්‍රඥාවට ද හැරවීමට එලියාගේ ආත්මයෙන් හා බලයෙන් යුක්ත ව, ස්වාමින්වහන්සේට යෝග්‍ය ලෙස ජනතාවක් හැඩ ගස්වමින්, ඔහු උන්වහන්සේට පෙරටුවෙන් යනු ඇතැ” යි පැවසී ය. එවිට සෙකරියස් දේව දූතයා අමතමින්, “මා මෙය දැනගන්නේ කෙසේ ද? මා දැන් මහලුයි; මගේ භාර්යාවත් වයසට ගොස් ඇතැ” යි කීවේ ය. එවිට දේව දූතයා පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේ ඉදිරියේ සිටගන්නා ගාබ්‍රියෙල් මමයි. මා එවන ලද්දේ ඔබ සමඟ කතා කොට, මේ ශුභාරංචිය ඔබට දන්වන්නටයි. ඔන්න, මේ දෑ සිද්ධ වන දවස දක්වා ඔබ කතා කරන්නට බැරි ව, නිහඬ ව සිටිනු ඇත; මන්ද නිසි කල්හි ඉෂ්ට වන මගේ වචන ඔබ විශ්වාස කළ නැති නිසා යැ” යි පැවසී ය. ඒ අතර, සෙකරියස් එන තෙක් බලා සිටි ජනයා, දේව මාලිගය ඇතුළත ඔහු පමා වන්නේ ඇයි දැයි පුදුම වෙමින් සිටියහ. ඔහු පිටතට ආ කල, ඔවුනට කිසිවක් පැවසීමට ඔහු අපොහොසත් වූයෙන්, දේව මාලිගය තුළදී ඔහු යම් දර්ශනයක් දකින්නට ඇති වග ඔවුහු වටහා ගත්හ. ඔහු කතා බැරි ව, ඔවුනට සංඥා කරන්නට වන්නේ ය. තමාට නියමිත මෙහෙවර කාලය ගෙවුණු පසු, ඔහු තම නිවසට ආපසු ගියේ ය. මේ දවස්වලට පසු, ඔහුගේ භාර්යාව, එලිසබෙත් ගැබ් ගෙන, පස් මසක් සැඟවී වෙසෙමින්, “ස්වාමින්වහන්සේ මා දෙස බලා, මෙසේ කළ සේක, මේ දවස්හි ජනයා අතර වූ මගේ නින්දාව පහ කළ සේකැ” යි කීවා ය.

Free Reading Plans and Devotionals related to ලූක් 1:8-25