YouVersion Logo
Search Icon

ලෙවී 25:1-13

ලෙවී 25:1-13 SCV

ස්වාමින්වහන්සේ සීනයි කන්දේදී මෝසෙස් ඇමතූ සේක්, “ඉශ්‍රායෙල් ජනයා අමතා, ඔවුනට මෙසේ කියන්න: ‘මා ඔබට දෙන්නට යන දේශයට ඔබ ඇතුළු වූ පසු, එම දේශය ද ස්වාමින්වහන්සේට සබත් පැවැත් විය යුතු ය. හය වසරක් ඔබේ කෙත් වතු වපුරන්න. හය වසරක් ඔබේ මිදි වතුවල අතු කප්පාදු කොට, මිදි අස්වනු නෙළා ගන්න. එහෙත්, හත් වන වසරේ දේශය සබත් විවේකයෙහි ස්වාමින්වහන්සේට සබතක් කොට තැබිය යුතු ය. එවසර පුරා ඔබගේ කෙත් වතු වැපිරීමත්, මිදි වතු කප්පාදු කිරීමත් නො කරන්න. ඔබේ කෙත් වත්හි ඉබේ හට ගැන්වෙන පලදාව හෝ කප්පාදු කරනු නො ලැබූ මිදි වැල්හි පලදාව නෙළීම නො කරන්න. දේශය වසරක පූර්ණ විවේකයක් ලැබිය යුතු ය. සබත් වසරේ දේශයේ හට ගැනෙන කවරක් වුව ඔබටත්, ඔබේ සේවක, සේවිකාවනට හා කුලීකරුවනටත් තාවකාලික ව ඔබ අතරේ වාසය කරන්නන්ටත් ආහාර පිණිස වන්නේ ය. තවද ඔබේ සත්ව රංචුවලට හා දේශයේ වන සතුනට ද දේශය හටගන්වන කවර දේ වුව අහරට ගත හැකි ය. “ ‘මෙවන් සබත් වසර හතක් හෙවත් හත් අවුරුදු හතක් ගණන් කර ගන්න. මෙසේ සබත් වසර හතක එකතුව හතළිස් නව වසරකි. එකල, හත් වන මස දස වන දින හැම තැන්හි හොරණෑ හඬවන්න; පාප වන්දි නිවාරණ දවස වන එදින දේශය මුළුල්ලේ හොරණෑ හඬ නංවන්න. පනස් වන වසර විශුද්ධ කර, දේශය පුරා සිටින සියලු දේශ-වාසීනට නිදහස ප්‍රකාශ කරන්න. එය ඔබට ජුබිලි වර්ෂයයි. ඔබ හැම කෙනකු ම තමාගේ පිය උරුම දේපළ වෙත ආ යුතු ය. හැම කෙනකු ම තමාගේ පවුල් පෙළපත වෙත ආපසු ආ යුතු ය. පනස් වන අවුරුද්ද ඔබට ජුබිලි වර්ෂයයි. කෙත් වතු නො වපුරන්න. ඒවායේ හට ගැන්වෙන පලදාව හෝ සාත්තු නො කර හටගත් මිදි පලදාව නෙළා ගැනීම නො කරන්න. මන්ද එය ජුබිලියයි. එය ඔබට ශුද්ධ ය. ඔබේ කෙත් වත්හි හට ගැනුණු දෑ පමණක් අහරට ගන්න. “ ‘ජුබිලිය වූ මෙම වසරේ හැම කෙනකු ම පිය උරුමයෙන් ලද තම මුල් දේපළ වෙත ආපසු ආ යුතු ය.

Free Reading Plans and Devotionals related to ලෙවී 25:1-13