ලෙවී 21:1-24
ලෙවී 21:1-24 SCV
ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ආරොන්ගේ පුත්‍රයින් වූ පූජකයින් අමතා මෙසේ කියන්න: ‘මිය ගිය තම නෑයකු වෙනුවෙන් පූජකයකු අපවිත්‍ර නො විය යුතු ය. එහෙත් ඔහුගේ ළඟ නෑයින් වූ ඔහුගේ මව හෝ ඔහුගේ පියා හෝ ඔහුගේ පුතා නැතහොත් දියණිය හෝ ඔහුගේ සහෝදරයා හෝ සැමියකු නැති බැවින් ඔහුගෙන් යැපෙන ඔහුගේ අවිවාහක සහෝදරිය හෝ යන කෙනකුගේ මරණය හේතු කොට පමණක් අපවිත්‍රවීමට ඔහුට පුළුවන. සැමියකු වශයෙන් තම නෑයින් අතර තමා අපවිත්‍ර කර ගෙන, ඔහු තමා දූෂ්‍ය කර ගැනීම නො කළ යුතු ය. “ ‘පූජකයින් තම හිස මුඩු කර නො ගත යුතු ය. තම රැවුල් අග්ගිස් කපා දැමීම නො කළ යුතු ය. තම සිරුර කපා නො ගත යුතු ය. ඔවුන් තම දෙවියන්වහන්සේට ශුද්ධ ව සිටිය යුතු ය. ඔවුන් තම දෙවියන්වහන්සේගේ නාමය අපවිත්‍ර නො කළ යුතු ය. මන්ද ඔවුන්ගේ දෙවියන්වහන්සේගේ භෝජනය හෙවත් ස්වාමින්වහන්සේට ගින්නෙන් යාග කරන පූජා ඔප්පු කරන්නෝ ඔවුහු ය. එබැවින් ඔවුන් ශුද්ධ ව පැවතිය යුතු ය. “ ‘පූජකයින් ඔවුන්ගේ දෙවියන්වහන්සේට ශුද්ධ බැවින් වේශ්‍යාවක ව දූෂ්‍ය වූ හෝ තම සැමියාගෙන් දික්කසාද වූ හෝ ස්ත්‍රියක ආවාහ කර ගැනීම නො කළ යුතු ය. පූජකයින් ඔබේ දෙවියන්වහන්සේගේ භෝජනය පිළිගන්වන බැවින්, ඔවුන් ශුද්ධ වග සලකන්න. ඔබ ශුද්ධවත් කරන ඔබේ ස්වාමින්වහන්සේ වන මා ශුද්ධ බැවින්, පූජකයින් ද ශුද්ධ සේ සලකන්න. “ ‘පූජකයකුගේ දියණියක වෙසඟනක වී, තමා දූෂ්‍ය කරගන්නී නම්, ඈ තම පියා ද දූෂ්‍ය කරන්නී ය. ඇය ගින්නෙහි පුලුස්සා දැමිය යුතු ය. “ ‘තමාගේ සෙසු සහෝදරයින් අතරින් හිසේ ආලේප තෙල් වත් කරනු ලැබ, පූජක වස්ත්‍ර ඇඟලීමට පූජකාලේපය ලද්දා වන උත්තම පූජකයා, තම හිසකේ විදහා නො ගත යුතු ය; තමන් හැඳිවත් ඉරා නො ගත යුතු ය. මළ මිනියක් ඇති කවර තැනකටවත් ඔහු නො යා යුතු ය. තම පියාගේ හෝ තම මවගේ හෝ මිනිය වෙත ළං වීමෙන් පවා ඔහු අපවිත්‍ර නො විය යුතු ය. ඔහු තම දෙවියන්වහන්සේගේ ශුද්ධස්ථානය හැර නො ගිය යුතු ය. එය අපවිත්‍ර නො කළ යුතු ය. මන්ද ඔහුගේ දෙවියන්වහන්සේගේ ආලේප තෙලින් ඔහු කැප කර ඇති බැවිනි. මම ස්වාමින්වහන්සේ ය. “ ‘ඔහු විවාහ වන කාන්තාව කන්‍යාවියක විය යුතු ය. වැන්දඹු හෝ දික්කසාද හෝ වූ කාන්තාවක්වත්, වෙසඟනක ව දූෂ්‍ය වූ තැනැත්තියක්වත් ඔහු ආවාහ කර නො ගත යුතු ය. ඔහු ආවාහ කර ගත යුත්තේ, තම ජාතියට අයත් කන්‍යාවියක ය. එලෙස ඔහු තම ජනයා මධ්‍යයේ තම දරු පරපුර දූෂිත නො කළ යුතු ය. ඔහු ශුද්ධවත් කරන ස්වාමින්වහන්සේ මම යැ’ යි” පැවසූ සේක. ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ආරොන් අමතා මෙසේ කියන්න: ‘මතු පරම්පරාවන්හි දී ඔබෙන් පැවත එන්නන් අතර ඇද පලුදු ඇති කිසිවකු ස්වකීය දෙවියන්වහන්සේගේ භෝජනය පිළිගැන්වීමට ළං නො විය යුතු ය. ඇද පලුදු ඇති කිසිවකු එසේ ළං නො විය යුතු ය. අන්ධ, කොර, විරූපී හෝ විකලාංග ඇති කිසිවකු, අතක් නැතහොත් පයක් අබ්බගාත වූවකුවත්, කුදු වූ, කුරු වූ හෝ ඇසක යම් දෝෂයක් ඇතියකුවත්, වණ හෝ දද ඇතියකුවත්, අණ්ඩ-කෝෂය තැලුනු කෙනකුවත් යන වශයෙන් පූජක ආරොන්ගෙන් පැවත එන ඇද පලුදු ඇති කිසිවකු ස්වාමින්වහන්සේට ගින්නෙන් යාග කරන පූජා පිළිගැන්වීමට ළං නො විය යුතු ය. එබන්දකු, ඇද පලුදු ඇතියකු බැවින්, තමන්ගේ දෙවියන්වහන්සේගේ භෝජනය ඔප්පු කිරීමට ඔහු ළං නො විය යුතු ය. ඔහුගේ දෙවියන්වහන්සේගේ භෝජනය වන ආහාර පූජාවල ශුද්ධ මෙන් ම අතිශුද්ධ දෑ වැළඳීමට ඔහුට පුළුවන. එහෙත්, තමාට ඇද පලුද්දක් ඇති බැවින්, තිරය වෙත ළඟාවීම හෝ පූජාසනය වෙත ළං වීම හෝ ඔහු නො කළ යුතු ය. මගේ ශුද්ධස්ථානය ඔහු නො කෙලෙසිය යුතු ය. ඔවුන් ශුද්ධවත් කරන ස්වාමින්වහන්සේ මම යැ’ යි” පැවසූ සේක. මෙසේ මෝසෙස්, ආරොන්ටත්, ඔහුගේ පුතුන්ටත්, සියලු ඉශ්‍රායෙල් පුත්‍රයින්ටත් එපවත් පැවසී ය.


