ලෙවී 2:1-16
ලෙවී 2:1-16 SCV
“ ‘යමෙක් ස්වාමින්වහන්සේට ධාන්‍ය පූජාවක් ගෙනෙන කල, ඔහුගේ පූජාව, සිහින් පිටිවලින් විය යුතු ය. ඔහු ඊට තෙල් වත් කොට, කට්ටකුමංජල් ද එක් කළ යුතු ය. ඉන්පසු එය ආරොන්ගේ පුත්‍රයින් වූ පූජකයින් වෙත ගෙන යා යුතු ය. පූජකයා සිහින් පිටි අහුරක් හා තෙල් සමඟ කට්ටකුමංජල් සියල්ල ගෙන, ස්වාමින්වහන්සේට මිහිරි සුවඳක් වන ගින්නෙන් යාග කරන ලද සිහි කිරීමේ පංගුව වශයෙන්, පූජාසනය මත එය දවාලිය යුතු ය. ධාන්‍ය පූජාවේ ඉතිරි කොටස ආරොන්ටත්, ඔහුගේ පුතුන්ටත් අයිති ය. එය ස්වාමින්වහන්සේට ගින්නෙන් පිදූ පූජාවලින් අතිශුද්ධ කොටසක් වෙයි. “ ‘උදුනේ පිලිස්සූ දෙයින් ඔබ ධාන්‍ය පූජාවක් ගෙනෙන්නේ නම්, ඒවා මුහුන් නොමැතිව, තෙල් මුහු කොට, සිහින් පිටියෙන් තැනූ රොටි හෝ මුහුන් නොමැතිව සිහින් පිටියෙන් තනා, තෙල් ගැල්වූ සිහින් කැවිලි හෝ විය යුතු ය. ඔබගේ ධාන්‍ය පූජාව, කබලක බදින ලද එකක් නම්, එය තෙල් මුහු කොට, මුහුන් නො යොදා, සිහින් පිටියෙන් තැනූවක් විය යුතු ය. එය කැබලි කර, ඒ මත තෙල් වත් කරන්න. එය ධාන්‍ය පූජාවකි. ඔබගේ ධාන්‍ය පූජාව, තාච්චියක පිසින ලද්දක් නම්, එය සිහින් පිටියෙන්, තෙලින් පිසින ලද්දක් විය යුතු ය. එකී අයුරකින් පිළියෙල කළ ධාන්‍ය පූජා ස්වාමින්වහන්සේ වෙත ගෙනවුත්, පූජකයාට පිළිගැන්විය යුතු ය; ඔහු එය පූජාසනය ළඟට ගෙන ආ යුතු ය. තවද ධාන්‍ය පූජාවේ සිහි කිරීමේ පංගුව ගෙන, ස්වාමින්වහන්සේට මිහිරි සුවඳක් ව, ගින්නෙන් කරන යාගයක් වශයෙන් පූජාසනය මත දවාලිය යුතු ය. ධාන්‍ය පූජාවේ ඉතිරි කොටස ආරොන්ටත්, ඔහුගේ පුතුන්ටත් අයිති ය. එය ස්වාමින්වහන්සේට ගින්නෙන් පිදූ පූජාවලින් අතිශුද්ධ කොටසක් වෙයි. “ ‘ස්වාමින්වහන්සේ වෙත ඔබ ගෙනෙන කවර ධාන්‍ය පූජාවක් වුව පිළියෙල කළ යුත්තේ මුහුන් නොමැතිව ය. මන්ද ස්වාමින්වහන්සේට ගින්නෙන් කරන පූජාවකදී මුහුන් හෝ මී පැණි හෝ නො දැවිය යුතු බැවිනි. නාඹුල් පල පුද-පූජාවක් වශයෙන් ඔබට ඒවා ස්වාමින්වහන්සේ වෙත ගෙන ආ හැකි ය. එහෙත් ඒවා පූජාසනය මත මිහිරි සුවඳක් ව පූජා කළ නො හැක. ඔබේ සියලු ධාන්‍ය පූජා, ලුණු දමා රස ගන්වන්න. ඔබේ දෙවියන්වහන්සේගේ ගිවිසුමේ ලුණු, ඔබේ ධාන්‍ය පූජාවලින් තොර නො වන පරිදි, ඔබේ හැම ධාන්‍ය පූජාවකට ම ලුණු එක් කරන්න. “ ‘නාඹුල් පලවලින් ඔබ ස්වාමින්වහන්සේට ධාන්‍ය පූජාවක් ගෙනෙන්නේ නම්, අලුත් කරල් බැද, පොඩිකර, පූජා කළ යුතු ය. ඊට තෙල් හා කට්ටකුමංජල් එක් කරන්න. එය ධාන්‍ය පූජාවකි. පූජකයා ස්වාමින්වහන්සේට ගින්නෙන් කළ පූජාවක් වශයෙන් එම පොඩි කළ ධාන්‍ය සිහි කිරීමේ පංගුව, තෙල් ද කට්ටකුමංජල් සියල්ල ද සමඟ දවාලිය යුතු ය.

