YouVersion Logo
Search Icon

ලෙවී 16

16
පාප වන්දි නිවාරණ දවස
1 ස්වාමින්වහන්සේ ඉදිරියට ළඟා වූ විට මිය ගිය ආරොන්ගේ පුතුන් දෙදෙනාගේ මරණයෙන් පසු, ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක. 2ස්වාමින්වහන්සේ මෝසෙස්ට කතා කොට, “ඔහු මරණයට පත් නො වන පිණිස ගිවිසුම් කරඬුව මත පිහිටි කරුණාසනය#16:2 කරුණාසනය හෙවත් පාප වන්දි නිවාරණ වැස්ම 13, 14, 15 අබියස ඇති තිරයෙන් එහා අතිශුද්ධස්ථානයට තමන් හිතූ හිතූ වෙලාවට ඇතුළු නො වන ලෙස ඔබේ සහෝදර ආරොන්ට කියන්න. මන්ද කරුණාසනයට ඉහළින් වලාකුළේ මම පෙනී සිටින්නෙමි.
3“ආරොන් ශුද්ධස්ථානයට ඇතුළු විය යුත්තේ, පාප පූජාවක් සඳහා ගොන් වස්සකු ද දවන යාග පූජාවක් සඳහා බැටළුවකු ද රැගෙන ය. 4ඔහු ශුද්ධ හණ දිගු කබාය හැඳගත යුත්තේ, හණ යට ඇඳුම් ඇඟ ලා ගෙන ය. ඔහු ඉඟ වටා හණ බඳ පටිය බැඳ, හණ තලප්පාව පැලඳිය යුතු ය. ඒවා ශුද්ධ වස්ත්‍ර බැවින් ඒවා ඇඟලීමට පෙර ඔහු දිය නෑ යුතු ය. 5තවද ඔහු ඉශ්‍රායෙල් සමාජයෙන් පාප පූජාවක් සඳහා එළුවන් දෙදෙනකු ද දවන යාග පූජාවක් සඳහා බැටළුවකු ද ගත යුතු ය.
6“ආරොන් තමාගේ පාප පූජාව සඳහා වූ ගොන් වස්සා ඔප්පු කළ යුත්තේ, තමා උදෙසාත්, තම ගෘහ වාසීන් උදෙසාත් පාප වන්දි නිවාරණය සලසමිනි. 7ඉන්පසු ඔහු එළුවන් දෙදෙනා ගෙන, හමුවීමේ කූඩාරම් දොරකඩදී, ස්වාමින්වහන්සේ ඉදිරියට උන් පැමිණ විය යුතු ය. 8එළුවන් දෙදෙනාගෙන්, ස්වාමින්වහන්සේට කවර එකා ද, අසාසෙල්ට#16:8 අසාසෙල් යන වචනයේ අර්ථය අපැහැදිලි ය. පිට මං කර හරින එළුවා හෝ දුෂ්ට ආත්මයක් හඳුන්වන නමක් හෝ විය හැක. 10, 26 පද ද එසේ ම ය. කවර එකාදැයි නිශ්චය කිරීමට පස ඇට දැමිය යුතු ය. 9මෙසේ පස ඇටය වැටුණු ස්වාමින්වහන්සේ උදෙසා වූ එළුවා ගෙනවුත්, පාප පූජාවක් වශයෙන් ආරොන් ඌ යාග කළ යුතු ය. 10එහෙත්, අසාසෙල්ට පස ඇටය වැටුණු එළුවා, පාළුකරයට මුදා හැරීමෙන් පාප වන්දි නිවාරණයට යොදා ගැනීමට පණ පිටින් ම ඌ ස්වාමින්වහන්සේ ඉදිරියට පැමිණ විය යුතු ය.
11“ආරොන් තමා උදෙසාත්, තම ගෘහ වාසීන් උදෙසාත් පාප වන්දි නිවාරණය සලසන පිණිස, තම පාප පූජාවේ ගවයා ගෙන ආ යුතු ය. ඔහු තම පාප පූජාවේ ගවයා මැරිය යුතු ය. 12ඔහු ස්වාමින්වහන්සේ අබියස පූජාසනයෙන්, ඇවිළෙන ගිනි අඟුරු පිර වූ ධූම පාත්‍රයක් ද සිහින් ව ඇඹරූ සුවඳ ද්‍රව්‍ය අහුරු දෙකක් ද තිරය පිටුපසට රැගෙන ආ යුතු ය. 13එහිදී ස්වාමින්වහන්සේ අබියස ගිනි මත සුවඳ ද්‍රව්‍ය දැමිය යුතු ය. එවිට ගිවිසුම් කරඬුව මත වූ කරුණාසනය සුවඳ දුමින් වසා ගැනේ. මෙසේ ඔහු නොමියෙනු ඇත. 14ඔහු ගවයාගේ ලේ ස්වල්පයක් ගෙන, කරුණාසනයේ ඉදිරිපස මතට තම ඇඟිල්ලෙන් ලේ ඉසිය යුතු ය. ඉන්පසු කරුණාසනය ඉදිරියේ තම ඇඟිල්ලෙන් හත් වරක් ලේ ඉසිය යුතු ය.
15“ඉන්පසු ඔහු ජනයාගේ පාප පූජාව සඳහා වූ එළුවා මරා, උගේ ලේ, තිරය පිටුපසට ගෙන ගොස්, ගව ලෙයින් කළ දේ එයින් ද කළ යුතු ය. ඔහු කරුණාසනයේ ඉදිරිපස මතට ද කරුණාසනය ඉදිරියේ ද ඒ ලේ ඉසිය යුතු ය. 16මේ අයුරින් ඔහු අතිශුද්ධස්ථානය උදෙසා පාප වන්දි නිවාරණය සලසයි. එසේ කරන්නේ, ඉශ්‍රායෙල් ජනයාගේ අපවිත්‍රතාව ද ඔවුන්ගේ කැරලිකාරීත්වය ද ඔවුන්ගේ හැම ආකාර පාප ද නිසා ය. තවද ඔවුන්ගේ අපවිත්‍රතාව අතරේ ඔවුන් මධ්‍යයේ තිබෙන හමුවීමේ කූඩාරම උදෙසා ද ඔහු ඒ දේ ම කළ යුතු ය. 17ආරොන් පාප වන්දි නිවාරණය සලසනු සඳහා, අතිශුද්ධස්ථානයට ඇතුළු වන මොහොතේ පටන්, ඔහු තමා උදෙසාත්, තම ගෘහ වාසීන් හා සමස්ත ඉශ්‍රායෙල් සමාජය උදෙසාත් පාප වන්දි නිවාරණය සලසා, ආපසු පිටතට එන තෙක්, අන් කිසි කෙනකු හමුවීමේ කූඩාරම තුළ නො සිටිය යුතු ය.
18“ඉන්පසු ඔහු, ස්වාමින්වහන්සේ ඉදිරිපිට වූ පූජාසනය උදෙසා ද පාප වන්දි නිවාරණය සැලසීමට පිටතට ආ යුතු ය. ගවයාගේ ලෙයින් ද එළුවාගේ ලෙයින් ද ස්වල්පයක් ගෙන, ඔහු ඒවා පූජාසනයේ අං සියල්ල මත දැමිය යුතු ය. 19පූජාසනය කැප කිරීමටත්, ඉශ්‍රායෙල්වරුන්ගේ අපවිත්‍රතාවෙන් එය පවිත්‍ර කිරීමටත් ඔහු ඒ ලෙයින් ස්වල්පයක් ගෙන, තම ඇඟිල්ලෙන් ඒවා පූජාසනය පිට හත් වරක් ඉසිය යුතු ය.
20“මෙසේ ආරොන් අති ශුද්ධස්ථානයත්, හමුවීමේ කූඩාරමත්, පූජාසනයත් උදෙසා පාප වන්දි නිවාරණය සැලසූ පසු, පණ පිටින් සිටින එළුවා ද ඉදිරියට ගෙන ආ යුතු ය. 21ඔහු තම දෑත ම පණ ඇති එළුවාගේ හිස මත තබා, ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු දුෂ්ටකම් හා කැරලිකාරීකම් ඌ මත උච්චාරණ කරමින්, ඔවුන්ගේ ඒ සියලු පාප, එළුවාගේ හිස මත තැබිය යුතු ය. ඉන්පසු ඔහු ඒ එළුවා පාළුකරයට ඉවත් කර හැරිය යුත්තේ, කාරිය බාර කෙනකු යටතේ ය. 22එළුවා ඔවුන්ගේ සියලු පාප දරාගෙන ජනශූන්‍ය ස්ථානයකට යන්නේ ය. ඌ බාර ව ගිය මිනිසා පාළුකරයට ඌ මුදා හරින්නේ ය.
23“ඉන්පසු ආරොන් හමුවීමේ කූඩාරමට ඇතුළු විය යුතු ය. අතිශුද්ධස්ථානයට පිවිසීමට කලින් ඔහු ඇඟ ලා ගත් හණ ඇඳුම් එහිදී ගලවා, ඒවා එහි තිබෙන්නට හැරිය යුතු ය. 24ඉන්පසු ඔහු ශුද්ධ තැනකදී ජල ස්නානය කොට, තමාගේ ඇඳුම් ඇඟ ලා, පිටතට ආ යුතු ය. ඔහු තමා උදෙසා දවන යාග පූජාවක් ද ජනයා උදෙසා දවන යාග පූජාවක් ද යාග කරමින්, තමා උදෙසා ද ජනතාව උදෙසා ද පාප වන්දි නිවාරණය සැලසිය යුතු ය. 25ඔහු පාප පූජාවේ මේදය ද පූජාසනය පිට දවාලිය යුතු ය.
26“අසාසෙල් උදෙසා වූ එළුවා මුදා හළ මිනිසා තම හැඳිවත් සෝදා, ජල ස්නානය කළ යුතු ය. කඳවුරට ඇතුළු වීමට ඉන්පසු ඔහුට පුළුවන. 27පාප වන්දි නිවාරණය උදෙසා අතිශුද්ධස්ථානය ඇතුළතට ගෙන යන ලද ලේ ගත් පාප පූජා ගවයා හා එළුවා කඳවුරෙන් පිටතට ගෙන යා යුතු ය. උන්ගේ හම් ද මස් ද ගොම ද ගින්නේ දවාලිය යුතු ය. 28ඒවා දවාලන මිනිසා ද තමන් හැඳිවත් සෝදා, ජල ස්නානය කළ යුතු ය. ඉන්පසු කඳවුර තුළට ඒමට ඔහුට පුළුවන.
29“මෙය ඔබට සදාතනික නියෝගයකි: හත් වන මස දහ වන දින, ඔබ, ඔබ ම යටහත් කර ගත යුතු ය. පුරවැසියකු වේවා, ඔබ අතර සිටින විදෙස්සකු වේවා එදින කිසි වැඩක් නො කළ යුතු ය. 30මන්ද, ඒ දවසේ ඔබ පවිත්‍ර කරන පිණිස, ඔබ උදෙසා පාප වන්දි නිවාරණයක් කෙරේ. එවිට ස්වාමින්වහන්සේ හමුවේ ඔබේ සියලු පාපවලින් ඔබ පවිත්‍ර වන්නේ ය. 31එය සම්පූර්ණ විවේකී සබතකි. ඔබ, ඔබ ම යටහත් කර ගත යුතු ය. එය සදාතනික නියෝගයකි. 32තම පියාගේ ඇවෑමෙන්, උත්තම පූජක නිලයට ආලේප ලබා, පූජකවරයට පත් වන පූජකයා පාප වන්දි නිවාරණය සැලසිය යුතු ය. ඔහු ශුද්ධ හණ වස්ත්‍රයෙන් සැරසී, 33අතිශුද්ධස්ථානය ද හමුවීමේ කූඩාරම ද පූජාසනය ද පූජකයින් ද මුළු ජන සමාජය ද උදෙසා පාප වන්දි නිවාරණය සලසයි.
34“මෙය ඔබට සදාතනික නියෝගයකි. ඉශ්‍රායෙල් ජනයාගේ සියලු ම පාප උදෙසා පාප වන්දි නිවාරණය සැලසිය යුත්තේ, අවුරුද්දකට එක් වරෙකි.”
ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ම එම කටයුතු සිදු කෙරිණ.

Currently Selected:

ලෙවී 16: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in