විලාප ගී 5:1-22
විලාප ගී 5:1-22 SCV
අපට සිදු වී ඇති දෑ සිහිපත් කළ මැන අහෝ ස්වාමින්වහන්ස බැලුව මැනව, අපට වන් නින්දාව දෙස නෙත් හෙළුව මැනව. අපගේ උරුමය පිටස්තරයන් අතට ද අපගේ වාසස්ථාන විදෙස්සන් අතට ද පවරා දෙනු ලැබ ඇත. අපි අනාථ දරුවන් බවට, පියා නැතියවුන් බවට පත් ව ඇත්තෙමු; අපේ මවුවරුන් වැන්දඹුවන් වැන්න. අප බොන වතුර අප මිලයට ගත යුතු ව ඇත; අපේ ම දර පාවිච්චියට ගත හැක්කේ මිලයක් ගෙවීමෙනි. අප ලුහුබැඳ එන්නෝ, දැන් දැන් අත නුදුරෙහි ය; අපට වෙහෙස ය, අවිවේකී ය. කුසට අහර ලබා ගැනීමට ඊජිප්තුවටත්, අසිරියාවටත් අත් දිගු කරන්නට අපට සිදු විය. අපේ පියවරු පව් කළහ; එහෙත් ඔවුන් දැන් නැත. ඔවුන්ගේ දඬුවම දරන්නේ අප ය. වහල්ලු දැන් අපේ පාලකයින් ව සිටිති. ඔවුන් අතින් අප මුදන්නට කිසිවකුත් නැත. කාන්තාරයේ වූ අවිදරන්නවුන් නිසා, අහර සොයාගැනීමේදී අපේ ජීවිත අවදානමට ලක් විණි. නියංසායේ දැඩි දාහය නිසා, අපේ හම පෝරනුවක් සේ රත් වී ඇත. සියොනෙහි දී අපේ කාන්තාවෝ ද යූදා නගරවලදී අපේ කන්‍යාවියෝ ද දූෂ්‍ය කරන ලද්දෝ ය. අපේ අධිපතීහු අත්වලින් එල්ලනු ලැබූහ; අපේ වැඩිහිටියනට කිසි ගෞරවයක් නො ලැබුණි. අපේ තරුණයෝ ඇඹරුම් ගලේ බර වැඩෙහි බලෙන් යොදවනු ලැබූහ; අපේ ගැටවරයෝ දරමිටිවල අධික බරින් නැමී ගියහ. අපේ වැඩිහිටියෝ පුර දොරටු මන්ත්‍රණ සභාව හැර ගියහ; තරුණ පිරිස් සංගීත සාද අතැර දැමූහ. අපේ සිත්වලින් ප්‍රීතිය බැහැර ව ගොසිනි; අපේ නැටුම් වැලපීමකට හැරී ඇත. ඔටුන්න අපේ හිසින් බිම ඇද වැටිණ; අපට දුක් පැමිණේ! මන්ද අප පව් කළ බැවිණි. මේ හේතු නිසා අපේ හදේ දිරිය බිඳී ඇත; නෙතේ කඳුළින් පෙනීම බොඳ වී ගොසිනි. මන්ද, සියොන් කන්ද පාළුවට හැර දමා තිබේ; එහි ගැවසෙන්නේ හිවලුන් පමණි. අහෝ ස්වාමින්වහන්ස, ඔබවහන්සේ සදහට ම රජකම් කරන සේක; ඔබගේ සිංහාසනය පරම්පරාවෙන් පරම්පරාවට පවතී. ඔබ සදහට ම අප අමතක කරන්නේ මන්ද? මෙතරම් කලක් අප අතැර දමා සිටින්නේ මන්ද? අප ඔබ වෙත හැරී එන පිණිස, අහෝ ස්වාමින්වහන්ස, අප යළි පිළිගත මැනව. පෙර දා සේ අපගේ දවස් සේ යළි අලුත් කළ මැනව, සහමුලින් ම ඔබ අප ප්‍රතික්ෂේප නො කළ සේක් නම්, පමණ ඉක්මවා අප හා කෝප නො වන සේක් නම්





