YouVersion Logo
Search Icon

යූද් 1:3-16

යූද් 1:3-16 SCV

ප්‍රේමණීයයනි, අප පංගුකාර ව සිටින ගැලවීම පිළිබඳව ඔබට ලියා එවන්නට ලොකු ඕනෑකමක් තිබුණ ද, එක් වරක් ම ශුද්ධවතුනට බාර දෙන ලද ඇදහිල්ල සඳහා සටන් වදින ලෙස ඉල්ලමින් ඔබට ලිවීම අවශ්‍යමැයි මට හැඟිණ. මන්ද ඈත අතීතයේදී, මේ දඬුවමට නියම කරනු ලැබූ ඇතැම් දෙනෙක් හොර රහසේ ඔබ අතරට රිංගාගෙන සිටින බැවිනි. අභක්තිකයින් වූ ඔවුහු අපගේ දෙවියන්වහන්සේගේ අනුග්‍රහය, දුරාචාරය සඳහා වූ බලපත්‍රයකට හරවාගෙන, අපගේ එක ම ස්වාමියාණන් ද පරමාධිපතියාණන් ද වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ප්‍රතික්ෂේප කරති. ඔබ මෙය මුළුමනින් දැන සිටියත්, මේවා ඔබට මතක් කර දෙන්නට කැමැත්තෙමි; එක් වරක් ස්වාමින්වහන්සේ ජනතාවක් ඊජිප්තු දේශයෙන් මුදා, විශ්වාස නො කළවුන් පසුව විනාශ කර දැමූ වග හා තමන් ලත් අධිපති නිලයේ නො පැවත, තමන්ට නියමිත නිවහන් අත් හළ දේව දූතයින්, ඒ මහා දවසේ විනිශ්චය සඳහා සදාතන බැඳුමින් බඳිනු ලැබ, අන්ධකාරය යට උන්වහන්සේ විසින් රඳවා තබා ඇති වග ය. එලෙස ම, සොදොම හා ගොමොරාව හා ඒ අවට නගර ලිංගික දුරාචාරයටත්, විකෘති තෘෂ්ණාවනටත් තමන් ම පාවා දී, සදාතන ගින්නේ දඬුවම විඳිමින් ආදර්ශයක් වී සිටිති. එලෙස මොවුහු ද තමන්ගේ සිහිනවල එල්බගෙන, මාංසය දූෂ්‍ය කර ගනිති; ආධිපත්‍යය ප්‍රතික්ෂේප කරති; ශ්‍රේෂ්ඨයින්ට එරෙහිව නින්දා අපහාස කරති. එහෙත් අග්‍ර දේව දූත මිකායෙල් පවා මෝසෙස්ගේ මිනිය ගැන යක්ෂයා සමඟ වූ ආරවුලේදී වාද කරන විට, අපහාසාත්මක ව චෝදනා කරන්නට එඩිතර නො වී, “ස්වාමින්වහන්සේ නුඹට තරවටු කරන සේකැ” යි කීවේ ය. එහෙත් මොවුහු තමනට නො වැටහෙන හැම දේට අපහාස කරති. සිහිමොලේ නැති තිරිසනුන්ට මෙන් සහජයෙන් ඔවුනට වැටහෙන දෑවලින් ඔවුන් විනාශ කර දැමේ. ඔවුන්ට වන විපතක මහත! මන්ද කායින්ගේ මාර්ගයේ ගමන් ගන්නා ඔවුහු, වාසියට ගිජු ව බාලාම්ගේ වරදේ අතරමං ව, කෝරාගේ කැරැල්ලේදී විනාශ වූහ. මොවුහු ඔබගේ ප්‍රේම මංගල්‍යවල ලප කැළැල් ය; බය නැතිව ඔබ සමඟ අහර බුදින මොවුහු තමන් පමණක් පෝෂ්‍ය කර ගන්නා එඬේරු ය. සුළඟට ගසා ගෙන යන ජලය නැති වලාකුළු ය; දෙවරක් මැරුණු, මුලිනුදුරා දමනු ලැබූ, පල වාරයේ පල නො දැරූ ගස් ය. තම නිර්ලජ්ජිත පෙණ නංවන මුහුදේ සැඩ රැළි ය. මංමුළා වූ තාරකා ය. ඝන අන්ධකාරයේ කළුවර සදහට ම ඔවුන්ට වෙන් කර ඇත. ආදම්ගෙන් පටන් හත්වැන්නා වූ ඒනොක්, මොවුන් ගැන දිවැසි වැකියෙන් මෙසේ කියා තිබේ: “අන්න! දස දහස් ගණන් තම ශුද්ධවතුන් සමඟ ස්වාමින්වහන්සේ එන්නේ, සියල්ලන්ට ම විනිශ්චය තීන්දු කිරීමටත්, සියල්ලන්, ඒ සා අභක්තික මාර්ගවලින් කරන ලද සියලු අභක්තික ක්‍රියා ගැන හා උන්වහන්සේට එරෙහිව අභක්තික පව්කරුවන් පවසන ලද සියලු රළු කියුම් ගැන ඔවුන් වරදකරුවන් කිරීමටත් ය.” මොවුහු මැසිවිලි නගන්නෝ ය; කොඳුරන්නෝ ය; තමන්ගේ ම දුෂ්ට තෘෂ්ණා අනුව යන්නෝ ය; මොවුහු තම වාසිය තකා පක්ෂවාදී, වාචාල පුරසාරම්කරුවෝ ය.

Free Reading Plans and Devotionals related to යූද් 1:3-16