YouVersion Logo
Search Icon

යෝෂුවා 6:6-15

යෝෂුවා 6:6-15 SCV

එබැවින් නූන්ගේ පුත් යෝෂුවා, පූජකයින් කැඳවා, ඔවුන් අමතමින්, “ගිවිසුම් කරඬුව ඔසවා ගන්න. බැටළු අං හොරණෑ හතක් ගත් පූජකයින් හත් දෙනෙක් ස්වාමින්වහන්සේගේ කරඬුව ඉදිරියෙන් යේවා” යි පැවසී ය. ඉන්පසු ඔහු ජනයා අමතමින්, “ඉදිරියට යන්න! පුරය වටා පෙළපාලියෙන් යන්න. ආයුධ සන්නද්ධ භට පිරිස, ස්වාමින්වහන්සේගේ කරඬුව ඉදිරියෙන් ගමන් කරත්වා!” යි පැවසී ය. යෝෂුවා ජනයාට අණ කර තිබූ පරිදි, ස්වාමින්වහන්සේ ඉදිරිපිට බැටළු අං හොරණෑ හත දැරූ පූජකයින් හත්දෙනා, හොරණෑ හඬවමින්, ඉදිරියට ගමන් කළේ ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව ඔවුන්ට පසුපසින් එද්දී ය. අවි දැරූ මිනිස්සු, හොරණෑ පිඹින පූජකයින්ට ඉදිරියෙන් ගමන් කළහ. පසු සේනාංකය, කරඬුව පසුපසින් ගමන් ගත්තේ එක දිගට ම හොරණෑ හැඬවෙද්දී ය. යෝෂුවා ජනයාට මෙසේ අණ දුන්නේ ය: “මා ඔබට කියන දවස දක්වා ඔබ ජය ඝෝෂා නො කළ යුතු ය. ඔබේ කටහඬ ඇසෙන්නට ඉඩ නො දිය යුතු ය; වචනයක්වත් නො පැවසිය යුතු ය. එහෙත්, ඝෝෂා කරන්නැයි මා ඔබට කිවූ විට, ජය ගොස නගනු” යනුවෙනි. මෙසේ ස්වාමින්වහන්සේගේ කරඬුව, පුරවරය වටා එක් වරක් ගෙන යන ලදී; ඉන්පසු ඔවුහු කඳවුරට අවුත්, කඳවුරේ රැය ගත කළහ. යෝෂුවා පසු දින උදයේ වේලාසනින් නැගිට්ටේ ය. පූජකවරු ස්වාමින්වහන්සේගේ කරඬුව ඔසවා ගත්හ. බැටළු අං හොරණෑ හත රැගත් පූජකයින් හත්දෙනා ස්වාමින්වහන්සේගේ කරඬුවට පෙරටුව ගමන් කළේ නො නැවත හොරණෑ පිඹිමිනි. ආයුධ දැරූ මිනිස්සු ඔවුන්ට ඉදිරියෙන් ගමන් කළහ. නො නැවත හොරණෑ හැඬවෙන අතරේ පසු සේනාංකය, ස්වාමින්වහන්සේගේ කරඬුව පසුපසින් ගමන් ගත්හ. ඔවුහු දෙවන දවසේ පුරවරය වටා පෙළපාලියෙන් වරක් ගමන් කොට, කඳවුරට හැරී ආහ. හය දවසක් ම ඔවුහු එසේ කළහ. හත් වන දවසේ අලුයම් උදයෙන් නැගිටුණු ඔවුහු ඒ අයුරින් ම පුරවරය වටා පෙළපාලියෙන් හත් වාරයක් ගමන් කළහ. ඒ දවසේ පමණක් ඔවුහු පුරවරය වටා හත් වාරයක් පෙළපාලියෙන් ගමන් කළහ.