YouVersion Logo
Search Icon

යෝෂුවා 6:1-8

යෝෂුවා 6:1-8 SCV

මේ වන විට ඉශ්‍රායෙල් ජනයා නිසා, යෙරිකෝව තරයේ වසා දමන ලදී; කිසිවකු පිටතට ගියේවත්, ඇතුළට ආවේවත් නැත. එකල ස්වාමින්වහන්සේ යෝෂුවා අමතා, “ඔන්න! යෙරිකෝව, එහි රජු සමඟ එහි රණකාමී සෙබළුන් මම ඔබේ අතට දී ඇත්තෙමි. පුරවරය වට කරමින්, යුද්ධකාමී මිනිසුන් සියලු දෙනා සමඟ ඔබ පුරවරය වටා එක් වරක් පෙළපාලියෙන් ගමන් කළ යුතු ය. දවස් හයක් එසේ කළ යුතු ය. පූජකයින් හත් දෙනෙක් ගිවිසුම් කරඬුවට පෙරටුව බැටළු අං හොරණෑ හතක් රැගෙන, යා යුතු ය. හත්වෙනි දවසේ පුරවරය වටා හත් වරක් පෙළපාලියෙන් ගමන් කළ යුතු ය; පූජකයින් හොරණෑ පිඹිය යුතු ය. ඔවුන් බැටළු අං හොරණෑවෙන් දීර්ඝ ස්වරයෙන් හඬ නංවන කල, ඒ හොරණෑ නාදය ඔබට ඇසෙන කල මුළු ජනතාව මහ කෑගැසීමකින් කෑ ගැසිය යුතු ය; එවිට පුර පවුර බිමට සමතලාව ඇද වැටෙන්නේ ය. එවිට ජනයා හැම කෙනෙක් ම කෙළින් ම ඉදිරියට යන්නේ යැ” යි පැවසූ සේක. එබැවින් නූන්ගේ පුත් යෝෂුවා, පූජකයින් කැඳවා, ඔවුන් අමතමින්, “ගිවිසුම් කරඬුව ඔසවා ගන්න. බැටළු අං හොරණෑ හතක් ගත් පූජකයින් හත් දෙනෙක් ස්වාමින්වහන්සේගේ කරඬුව ඉදිරියෙන් යේවා” යි පැවසී ය. ඉන්පසු ඔහු ජනයා අමතමින්, “ඉදිරියට යන්න! පුරය වටා පෙළපාලියෙන් යන්න. ආයුධ සන්නද්ධ භට පිරිස, ස්වාමින්වහන්සේගේ කරඬුව ඉදිරියෙන් ගමන් කරත්වා!” යි පැවසී ය. යෝෂුවා ජනයාට අණ කර තිබූ පරිදි, ස්වාමින්වහන්සේ ඉදිරිපිට බැටළු අං හොරණෑ හත දැරූ පූජකයින් හත්දෙනා, හොරණෑ හඬවමින්, ඉදිරියට ගමන් කළේ ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව ඔවුන්ට පසුපසින් එද්දී ය.

Free Reading Plans and Devotionals related to යෝෂුවා 6:1-8