YouVersion Logo
Search Icon

යෝෂුවා 16:1-10

යෝෂුවා 16:1-10 SCV

යෝසෙප් සඳහා වෙන් වූ කොටස, යෙරිකෝව ළඟ යොර්දානෙන්, යෙරිකෝ ජලයට නැගෙනහිරින් කාන්තාරය තුළට ද යෙරිකෝවේ සිට බෙතෙල් කඳුරට දක්වා ද විය. එතැනින් බෙතෙල් සිට ලූස් දක්වා ගොස්, අර්කිවරුන්ගේ දේශය වන අටාරොත් පසු කර, එතැනින් එය බටහිර දෙසට, යෆ්ලේටීවරුන්ගේ දේශය ඈතට පහළ බෙත්-හෝරෝන් දේශය තෙක් බැස, එතැනින් ගෙසෙර්ට ද ගොස්, මුහුද ළඟදී කෙළවර විය. යෝසෙප් ජනයා වන මනස්සේ සහ එප්‍රායිම් ඔවුන්ගේ උරුමය ලැබූහ. පෙළපත් වශයෙන් එප්‍රායිම් ජනයාගේ භූමි ප්‍රදේශය මෙසේ ය: නැගෙනහිරට ඔවුන්ගේ උරුමයේ දේශ සීමාව අටාරොත්-අද්දාර් පටන්, ඉහළ බෙත්-හෝරෝන් දක්වාත්, දේශ සීමාව එතැන් සිට මුහුද දක්වාත් දිවෙයි. උතුරින් මික්මෙතාත් ය. එතැන් සිට නැගෙනහිරට දේශ සීමාව තානත්-ෂීලෝ දෙසට හැරී, දිගට ම එය පසු කර, ඊට එපිටින් නැගෙනහිරට යානෝවාට ගොස්, එතැනින් එය යානෝවා වෙතින් අටාරොත් සහ නාරා දක්වා පහළට ගොස්, යෙරිකෝව සමීපයෙන් යොර්දානයෙන් කෙළවර විය. තප්පූවා සිට දේශ සීමාව බස්නාහිරට කානා ඔයට ගොස්, මුහුද ළඟදී කෙළවර විය. පෙළපත් වශයෙන් එප්‍රායිම් ගෝත්‍ර වංශික උරුමය එයයි. තවද මනස්සේගේ උරුමය තුළ එප්‍රායිම්වරුන්ට වෙන් කර දෙන ලද නගර, ඊට ඇතුළත් නගර සහ ඒවායේ ගම්මානත් වේ. කෙසේ වෙතත් ඔවුන් ගෙසෙර්හි විසූ කානානිවරුන් පන්නා දැමුවේ නැත; එබැවින් කානානිවරුන් අද දක්වාත් එප්‍රායිම් ජනයා අතරේ වාසය කරන්නේ වුව ද ඔවුහු බර වැඩ සඳහා යොදා ගනිති.