YouVersion Logo
Search Icon

යෝෂුවා 10:1-15

යෝෂුවා 10:1-15 SCV

තවද යෝෂුවා යෙරිකෝවටත් එහි රජුටත් කළ පරිදි ආයිට හා එහි රජුටත් කරමින්, ආයි අල්ලාගෙන, එය සහමුලින් විනාශ කළ අයුරු ද ගිබෙයොන් වාසීන්, ඉශ්‍රායෙල් සමඟ සාමය ඇතිකර ගෙන ඔවුන් අසල වාසය කරන අයුරු ද යෙරුසලමේ රජු වූ අදොනී-සෙදෙක් ඇසූ කල, ඔහු අතිශයෙන් භය වූයේ, ගිබෙයොන් පුරවරය, රාජකීය පුරයක් සේ ආයිට වඩා විශාල ව, එහි මිනිස්සු සැවොම දක්ෂ සටන්කරුවන් ව සිටි බැවිනි. එබැවින් යෙරුසලමෙහි රජු වූ අදොනී-සෙදෙක්, හෙබ්‍රොන්හි රජු වූ හෝහාම්ට ද යර්මූත්හි රජු වූ පිරාම්ට ද ලාකීෂ්හි රජු වූ යාෆියාට ද එග්ලොන්හි රජ වූ දෙබීර්ට ද පණිවුඩ යවමින්, “ඇවිත්, ගිබෙයොන්ට පහර දෙන්නට මට ආධාර දෙන්න; මන්ද එපුර යෝෂුවා හා ඉශ්‍රායෙල්වරුන් සමඟ සාමය ඇතිකර ගෙන සිටී” යි දැන්වී ය. එවිට තම සේනාංක කැඳවූ අමෝරි රජවරුන් පස්දෙනා වන යෙරුසලමෙහි රජු, හෙබ්‍රොන්හි රජු, යර්මූත්හි රජු, ලාකීෂ්හි රජු හා එග්ලොන්හි රජු තම බල සේනා රැස් කර තම හමුදා සියල්ල කැටිව ගොස්, ගිබෙයොන්ට එරෙහිව කඳවුරු බැඳ, ඊට පහර දෙන්නට වන්හ. ගිබෙයොන්වරු එවිට ගිල්ගාල් කඳවුරේ සිටි යෝෂුවා වෙත පණිවුඩ යවමින්, “ඔබේ දාසයින් අත්හරින්න එපා; වහා ඇවිත්, අප ගලවා ගන්න. අපට උදවු කරන්න. කඳු රටේ සිට අමෝරිවරුන්ගේ සියලු රජවරුන් අපට එරෙහිව එක් රැස් වෙලා” යි දැන්වූහ. එබැවින් යෝෂුවා ගිල්ගාල් සිට ගියේ ය. ඔහු ද ඔහු සමඟ යුද්ධකාමී මිනිස්සු සියලු දෙනා ද ප්‍රබල රණවිරුවන් ද වූහ. එවිට ස්වාමින්වහන්සේ යෝෂුවාට කතා කොට, “ඔවුන්ට භය නො වන්න; මම ඔවුන් ඔබේ අත්වලට දී ඇත්තෙමි. ඔවුන්ගෙන් කිසිවකුට ඔබ ඉදිරියෙහි සිටගත නො හැකි” යි කී සේක. ගිල්ගාල් සිට රාත්‍රිය පුරා ගමන් කළ යෝෂුවා, හදිසියේ ම ඔවුන්ට පහර දුන්නේ ය. ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් ඉදිරියේ ඔවුන් වියවුල් කළ සේක. ගිබෙයොන්හි මහත් ඝාතනයකින් ඉශ්‍රායෙල් ඔවුන් වනසා දැමූහ. බෙත්-හෝරෝන් දෙසට නැගෙන මගෙහි ඔවුන් ලුහුබැඳ ගිය ඉශ්‍රායෙල්, අසේකා හා මක්කේදා දක්වා ම ඔවුන් ගසා හෙළූහ. ඔවුන් ඉශ්‍රායෙල් ඉදිරියෙන් පලා යද්දී, බෙත්-හෝරෝන් බෑවුමේ ඔවුන් යන කල අසේකා දක්වා ඈතට ම ස්වාමින්වහන්සේ අහසින් විශාල ගල් ඔවුන් පිට හෙළූ සේක. ඔවුහු මළෝ ය. ඉශ්‍රායෙල්වරුන් කඩුවෙන් මැරුවාට වඩා ගල් වැස්සෙන් මරණයට පත් වූවෝ බොහෝ ය. ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයින්ට අමෝරිවරුන් යටත් කර දුන් ඒ දවසේ, යෝෂුවා, ඉශ්‍රායෙල් ජන සමූහයා ඉදිරියේදී ස්වාමින්වහන්සේට කතා කරමින්, “එම්බා සූර්යය, ගිබෙයොන්ට ඉහළින් නැවතී සිටිනු; එම්බා චන්ද්‍රය, අයියාලොන් මිටියාවතට ඉහළින් සිටිනු” යි පැවසී ය. එවිට ජාතිය ඔවුන්ගේ සතුරන්ගෙන් පළි ගන්නා තෙක් ම සූර්යයා නිසල ව නැවතිණ. චන්ද්‍රයා ද නැවතුණේ ය. යාෂාර්ගේ පොතේ මෙය ලියා තියෙනවා නො වේ ද? අහස මැද නැවතී සිටි සූර්යයා, සම්පූර්ණ දවසක් පමණ බැස යන්නට ඉක්මන් නො වී ය. ස්වාමින්වහන්සේ මිනිසකුගේ කටහඬට සවන් දුන් එවන් දවසක් එතෙක් මෙතෙක් නො වී ය. මන්ද ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් උදෙසා සටන් කළ සේක. ඉන්පසු යෝෂුවා ගිල්ගාල්හි කඳවුර වෙත ආපසු ගියේ ය. ඉශ්‍රායෙල් සියල්ලෝ ද ඔහු සමඟ ගියෝ ය.

Free Reading Plans and Devotionals related to යෝෂුවා 10:1-15