යෝෂුවා 1:10-18
යෝෂුවා 1:10-18 SCV
එබැවින් යෝෂුවා ජනයාගේ නිලධාරීන්ට අණ කරමින්, “කඳවුර පුරා යමින්, ජනයාට අණ කරමින්, ‘ඔබට අවැසි දෑ සූදානම් කර ගන්න; මන්ද, ඔබට අත්කර දෙන පිණිස, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශය උරුම කර ගැනීමට, තුන් දවසකින් ඔබ මේ යොර්දාන් ගඟ තරණය කරනු ඇත’ කියා කියන්නැ” යි පැවසී ය. තවද රූබෙන්වරුන්, ගාද්වරුන් හා මනස්සේ ගෝත්ර අර්ධය ඇමතූ යෝෂුවා, “ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස් ඔබට නියෝග කරමින් කී වචනය සිහි කරන්න. ඒ, ‘ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට විවේක ස්ථානයක් සලසමින්, මේ දේශය ඔබට දෙනු ඇත’ යනුයි. යොර්දාන් ගඟින් මෙගොඩ මෝසෙස් ඔබට දුන් දේශයේ ඔබේ භාර්යාවනට, ඔබේ දරුවන්ට හා ඔබේ සත්ව සම්පතට නැවතී සිටිය හැකියි. එහෙත් ඔබ අතරෙහි සියලු සටන්කාමීන් සන්නද්ධ ව, ඔබේ සහෝදරයින්ට පෙරටුව එතෙරට යා යුතුයි. ඔබ ඔබේ සහෝදරයින්ට උපකාර කළ යුත්තේ, ඔබට දුන් සේ ස්වාමින්වහන්සේ ඔබේ සහෝදරයින්ටත් විවේකය දෙන තෙක් හා ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔවුන්ට දෙන දේශය, ඔවුන් ද අත්කර ගන්නා තෙක් ය. ඉන්පසු ඔබට හිමි දේශයට ආපසු ගොස්, ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස්, යොර්දාන් ගඟ මෙතෙරින් හිරු නැගෙන දෙසින් ඔබට දුන් දේශය ඔබට උරුම කර ගත හැකි” යි පැවසී ය. එවිට ඔවුහු යෝෂුවාට පිළිතුරු දෙමින්, “ඔබ අපට අණ කරන හැම දෙයක් ම අපි කරන්නෙමු; ඔබ අප යවන කොතැනකට වුව අපි යන්නෙමු. අපි මෝසෙස්ට හැම දේකදී ම කීකරු වූ අයුරින් ඔබට ද කීකරු වන්නෙමු. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ, මෝසෙස් සමඟ සිටි පරිද්දෙන් ඔබ සමඟ ද සිටින සේක්වා! යමකු ඔබේ වචනයට එරෙහිව කැරලි ගසමින්, ඔබ ඔහුට අණ කරන කවර කාරණයකදී වුව, ඔබේ වචනයට අකීකරු වන්නේ නම්, ඔහු මරණයට පත් කෙරේ. එබැවින් දැන් ශක්තිමත් වන්න; ධෛර්යවත් වන්නැ” යි පැවසූහ.





