YouVersion Logo
Search Icon

යෝබ් 42

42
යෝබ්ගේ සමෘද්ධිය
1එවිට යෝබ් ස්වාමින්වහන්සේට පිළිතුරු දෙමින් මෙසේ පැවසී ය:
2“හැම දෙයක් ම ඔබට කළ හැකි වග මම දනිමි;
ඔබගේ කිසි සැලැස්මක් නිෂ්ප්‍රභ කළ නො හැකි ය.
3‘දැනගැන්මෙන් තොර වචනවලින් මගේ දැනමුතුකම් අඳුරු කරන මොහු කවරෙක් දැ?’ යි ඔබ ඇසූ සේක.
සැබවින් ම මා කතා කළේ මා නො දන්නා දේ ය;
මට දැනගැනීමට අසීරු අතිශයෙන් පුදුමාකාර දේ ය.
4“ ‘දැන් මට සවන් දෙන්න; මම කතා කරන්නෙමි;
මම ඔබෙන් ප්‍රශ්න කරන්නෙමි;
ඔබ මට උත්තර දිය යුතු යැ’ යි ඔබ කී සේක.
5ඔබ ගැන ඇසූ කන් ඇත්තෙමි;
එහෙත් දැන් මගේ දෑස ඔබ දකියි.
6එබැවින් මම, මා නීච කොට සලකමින්,
දූවිල්ලේ හා අළු පිට හිඳ පසුතැවිලි වන්නෙමි.”
අවසානය
7 ස්වාමින්වහන්සේ යෝබ්ට මේ දෑ කී පසු, තේමානීය එලීෆස් ඇමතූ ස්වාමින්වහන්සේ, “මම ඔබ සමඟත්, ඔබේ මිතුරන් දෙදෙනා සමඟත් කෝපයෙන් සිටිමි. මන්ද මගේ සේවක යෝබ් මෙන් නො ව, නුඹලා මා ගැන හරි ලෙස කතා කළේ නැත. 8එබැවින් දැන් ගවයන් හත්දෙනකු හා බැටළුවන් හත්දෙනකු ගෙන, මගේ සේවක යෝබ් වෙත ගොස්, නුඹලා උදෙසා දවන යාග පූජාවක් ඔප්පු කරන්න. මගේ සේවක යෝබ් ඔබ උදෙසා යාච්ඤා කරනු ඇත; මම ඔහුගේ යාච්ඤාව පිළිගෙන, නුඹලාගේ මෝඩකමට නිසි විපාකය නුඹලා පිටට නො පමුණුවමි. මන්ද මගේ සේවක යෝබ් මෙන් නො ව, නුඹලා මා ගැන හරි ලෙස කතා කළේ නැතැ” යි පැවසූ සේක. 9එවිට තේමානීය එලීෆස් ද ෂූහීය බිල්දද් හා නාමාතීය සෝෆර් ද ස්වාමින්වහන්සේ ඔවුන්ට කී පරිදි කළෝ ය. ස්වාමින්වහන්සේ යෝබ්ගේ යාච්ඤාව පිළිගත් සේක.
10යෝබ් ඔහුගේ මිතුරන් උදෙසා යාච්ඤා කළ පසු ස්වාමින්වහන්සේ භාග්‍යයෙහි ඔහු යළි පිහිටෙවු සේක. කලින් ඔහු සතු ව පැවති දෑ මෙන් දෙගුණයක් ස්වාමින්වහන්සේ ඔහුට දුන් සේක. 11ඔහුගේ සියලු සහෝදරයෝ හා සහෝදරියෝ ද පෙරදී ඔහු හැඳින සිටි සැවොම ද පැමිණ ඔහුගේ නිවසේදී ඔහු සමඟ අහර ගත්හ. ඔහු පිට ස්වාමින්වහන්සේ පමුණුවා තිබූ ඒ සියලු විපත් ගැන ඔවුහු ඔහු සනසමින් ඔහු අස්වැසූහ. තවද ඒ හැම කෙනෙක් ම ඔහුට රිදී මිලයක් හා රන් මුදුවක් තෑගි කළහ.
12යෝබ්ගේ ජීවිතයේ ඒ පළමු අදියරට වඩා, මේ පසුකාල අදියරට ස්වාමින්වහන්සේ ආශිර්වාද කළ සේක; ඔහුට බැටළුවන් දහහතර දහසක් ද ඔටුවන් හයදහසක් ද ගව-බාන් දහසක් ද බූරු දෙනුන් දහසක් ද අයත් විය. 13ඔහුට පුතුන් හත් දෙනෙක් ද දූවරුන් තුන් දෙනෙක් ද වූහ. 14පළමු දියණිය යෙමීමා යයි ද දෙවැන්නිය කෙසීයා යයි ද තෙවැන්නිය කෙරෙන්-හප්පූක් යයි ද ඔහු නම් තැබී ය. 15යෝබ්ගේ දූවරුන් තරම් සුරූපී අඟනෝ ඒ මුළු මහත් දේශයේ ම නො වූහ. ඔවුන්ගේ පියා ඔවුන්ගේ සහෝදරයන් අතරේ උරුමයක් ඔවුන්ට ද සලසා දුන්නේ ය.
16මෙයින් පසුව යෝබ් වසර එකසිය හතළිහක් ආයු විඳ, පුත්‍රයින් ද හතර වන පරම්පරාව දක්වා පුත්‍රයන්ගේ පුත්‍රයින් ද දැක්කේ ය. 17ඔහු මිය ගියේ සම්පූර්ණ ආයු විඳ වියපත් ව ය.

Currently Selected:

යෝබ් 42: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in