YouVersion Logo
Search Icon

යෝබ් 38:1-18

යෝබ් 38:1-18 SCV

එවිට ස්වාමින්වහන්සේ කුණාටුවේ සිට යෝබ්ට උත්තර දෙමින් මෙසේ පැවසූ සේක: “දැනගැන්මෙන් තොර වචනවලින් මගේ දැනමුතුකම් අඳුරු කරන මොහු කවරෙක් ද? පිරිමියකු සේ ඔබේ ඉඟටිය බැඳගෙන, මට උත්තර දෙන්න; මම ඔබෙන් ප්‍රශ්න කරන්නෙමි. “මා පොළොවේ අත්තිවාරම් දමන විට ඔබ සිටියේ කොහේ ද? වැටහීම ඇත්නම් කියන්න. එහි පරිමාණය නියම කළේ කවුරු ද? ඇත්තෙන් ම ඔබ දන්නවා ඇති! ඒ හරහා මැනුම් පටිය ඇද්දේ කවුරු ද? එහි පාද තල ලූයේ කවරක් පිට ද? එහි කොන් ගල තැබුවේ කවුරුන් ද? පහන් තාරකා එක් ව ගායනා කරද්දී, දෙවියන්වහන්සේගේ සියලු පුත්‍රයින් ප්‍රීති ඝෝෂා නගද්දී එසේ කළේ කවුරු ද? “ගර්භයෙන් පිට ව ගලා දිවෙන විට දොරටු වසා, මුහුද ගැලීම නතර කළේ කවුරු ද? මා වලාකුළු එහි ඇඳුම ද ඝන අන්ධකාරය එහි දවටනය ද කර, ඊට සීමා-මායිම් නියම කර, එහි දොරටු හා දොරගුල් පිහිටුවා, මම මෙසේ පැවසීමි: ‘මෙතැන දක්වා පමණයි; එතැනින් එහාට ඔබට යා නො හැකියි. ඔබේ අහංකාර රළ, නතර විය යුතු තැන මෙතැනයි.’ “අරුණෝදයට එහි ස්ථානය පෙන්වන පිණිස, ඔබ කිසි දවසක උදෑසනට නියෝග දී තියේ ද? එමඟින් එය පොළොවේ කෙළවර ග්‍රහණය කිරීමෙන්, දුෂ්ටයින් පන්නා දැම්මේ ද? මුද්‍රා තබන ලද මැටි මෙන් පොළොව වෙනස් වේ; එය ඇඳුමක හැඩරුව ගනී. දුෂ්ටයින් වෙතින් ඔවුන්ගේ එළිය වළක්වනු ලැබේ; ඔසවන ලද ඔවුන්ගේ බාහුව ද බිඳිනු ලැබේ. “සයුරේ උල්පත් වෙත ඔබ ගමන් කර තියෙනවා ද? ගැඹුරේ ගුප්ත තැන්හි සක්මන් කර තියෙනවා ද? මරණයේ දොරටු ඔබට පෙන්වනු ලැබුවේ ද? ඝන කළුවරේ දොරටු ඔබ දැක තිබේ ද? පොළොවේ විශාලත්වය ගැන ඔබට අවබෝධයක් තිබේ ද? මේ සියල්ල ගැන ඔබ දන්නවා නම් මට කියන්න.