යෝබ් 3:1-13
යෝබ් 3:1-13 SCV
ඉන්පසු යෝබ් කටහඬ අවදි කරමින්, තම උපන් දවසට ශාප කරන්නට වී, මෙසේ කීවේ ය. “මා උපන් දවස නැති-භංග වේවා! ‘පිරිමි දරුවෙක් ගැබ් ගත්තා’ යි කී රාත්‍රිය ද නැති-භංග වේවා! ඒ දවස අන්ධකාරයට හැරේවා! ඉහළ ස්වර්ගයේ දෙවියන්වහන්සේ එය නො සලකා හරීවා! ආලෝකය එහි නො බැබළේවා; අන්ධකාරයත්, ඝන කළුවරත් ඊට හිමිකම් කියාවා, වලාකුළු ඒ පිට රඳා සිටීවා, කළුවරෙන් එහි එළිය යටපත් වේවා. ඝන අන්ධකාරය ඒ රාත්‍රිය ගිල ගනීවා; අවුරුද්දේ දවස් අතරේ එය ගණන් නො ගැනේවා! මාස අතරට එය අයත් නො වේවා! ඒ රාත්‍රිය වඳ එකක් වේවා; ප්‍රීතියේ කෑ-කෝ හඬ, ඒ රැයේ නො ඇසේවා. වස් කවි කියන්නෝ, ලෙවියාතන් අවුස්සන්ට පුළුවන්කම ඇත්තෝ ඒ දවසට ශාප කරත්වා; එහි උදා-තරුවල එළිය, අඳුරු වේවා; දැන් දැන් එළිය වැටෙතැයි නිකරුණේ බලා සිටීවා; අරුණලු හිරු රැස් ඊට දකින්නට නො ලැබේවා. මන්ද මේ විපත්ති මගේ ඇසින් නො දකින පිණිස, මා පිළිසිඳ ගැන්ම වළකමින් එය මා වැදූ දරු ගැබ වසා දැම්මේ නැත; “උපතේදී ම මා නො මැරුණේ ඇයි? මවු කුසෙන් බිහි වෙද්දී මා නො නැසුණේ ඇයි? මවු උකුළට මා පිළිගැනුණේ ඇයි? මා පෝෂණයට ඇගේ ළයට කිරි එරුණේ ඇයි? එසේ නො වී නම්, මෙලහකට මට සමාදානයේ සැතපී ඉන්නට තිබිණි; නිසල නින්දේ විවේක ගන්නට තිබිණි.





