යෝබ් 1:8-12
යෝබ් 1:8-12 SCV
එවිට ස්වාමින්වහන්සේ, “මගේ සේවක යෝබ් ගැන නුඹ සිතා බැලුවා ද? ඔහු වැනි කෙනෙක් මුළු පොළෝ තලයේ ම නැත. ඔහු නිදොස්, අවංක කෙනෙකි; දෙවියන්වහන්සේට භය පක්ෂපාත වූ, නපුරෙන් වැළකුණු මිනිසෙකැ” යි සාතන්ට පැවසූ සේක. එවිට සාතන් ස්වාමින්වහන්සේට පිළිතුරු දෙමින්, “යෝබ් දෙවියන්වහන්සේට භය පක්ෂපාත වන්නේ හේතුවක් නැතිව ද? ඔබවහන්සේ ඔහු වටාත්, ඔහුගේ ගෘහ වාසීන් හා ඔහු සන්තක සියල්ල වටාත් වැටක් බැඳ තිබෙනවා නො වේ ද? ඔහුගේ ගව හා එළු බැටළු රංචු දේශය පුරා පැතිරෙන ලෙසට ඔබවහන්සේ ඔහුට ආශිර්වාද කර ඇත. හොඳයි, ඔබේ අත දිගු කර ඔහු සතු හැම දේට පහර දී බලන්න; එවිට නිසැකයෙන් ම ඔහු ඔබේ මුහුණට ම ශාප කරනු ඇතැ” යි පැවසී ය. එවිට ස්වාමින්වහන්සේ, “ඔන්න, එහෙනම් ඔහු සතු හැම දෙයක් ම නුඹ අතෙයි; හැබැයි ඒ මිනිසාට නම් අත තියනවා හෙම නො වේ යැ” යි සාතන්ට පැවසූ සේක. ඉන්පසු සාතන් ස්වාමින්වහන්සේ ඉදිරියෙන් පිටත් ව ගියේ ය.





