යොහන් 20:24-28
යොහන් 20:24-28 SCV
යේසුස්වහන්සේ තම ගෝලයින් වෙත ආ කල, දොළොස් දෙනාගෙන් කෙනකු වූ දිදිමුස් නමින් හැඳින්වුණු තෝමස් ඔවුන් සමඟ සිටියේ නැත. එබැවින් සෙසු ගෝලයෝ, “අපි ස්වාමින්වහන්සේ දැක්කා” යි කීහ. ඔහු තම අදහස් දක්වමින්, “උන්වහන්සේගේ අත්වල ඇණ කැළැල් දැක, උන්වහන්සේගේ ඇණ සිදුරුවල මගේ ඇඟිල්ල දමා, උන්වහන්සේගේ ඇලයේ මගේ අත දැමුවොත් මිස, මා කිසි සේත් විශ්වාස කරන්නේ නැතැ” යි පැවසී ය. අට දිනකට පසු ගෝලයෝ නැවතත් ගෙතුළට වී සිටියහ. මෙවර තෝමස් ද ඔවුන් අතර විය. දොරගුළු ලා තිබූ නමුත් යේසුස්වහන්සේ අවුත්, ඔවුන් මැද සිටගෙන, “සාමය ඔබ සමඟ වේවා!” යි පැවසූ සේක. ඉන්පසු තෝමස් ඇමතූ උන්වහන්සේ, “ඔබේ ඇඟිල්ල මෙහි බහා මගේ අත් දිහා බලන්න. ඔබේ අත දිගු කර මගේ ඇලයෙහි තබන්න. අවිශ්වාස නො කර විශ්වාස කරන්නැ” යි කී සේක. එවිට තෝමස්, “මගේ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස!” යි උන්වහන්සේට පැවසී ය.





